ඔබත් අමෙරිකන් සිහිනය දකිනවා ද?

එක පැයකටත් රැකියාවක් කරන්න පුළුවන්
ඔක්තෝබර් 3, 2022

 

අපි හැමෝම අමෙරිකාව ගැන අහලා තියෙනවා. අමෙරිකන් සිහිනය ගැන අහලා තියෙනවා. අපි අහලා තියෙන සෑම දෙයකින්ම ඒක පරිකල්පනය කරගෙන තියෙන නිසා අමෙරිකා එක්සත් ජනපදයේදී සාක්ෂාත් කරගත හැකි නිදහස සහ සාර්ථකත්වය පිළිබඳ සිහිනය අපි දකින්නෙමු.

 

මා ඒ සිහිනය සැබෑ කර ගත් අයෙක්. පුංචි සන්ධියේ පටන් මගේ හිත ගියේ තාරකා විද්‍යාවටයි. මියුසියස් විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක් වෙලා මා ඒ පිළිබඳ දැනුම හඹා ගියා. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා ඉන් සමත් වූ මගේ එකම අපේක්ෂාව වුණේ අමෙරිකාවට ගිහින් මේ පිළිබඳ හදාරන්නයි.

මීට වසර 4 කට පමණ පෙර ශිෂ්‍ය වීසා මත ශිෂ්‍යයකු ලෙස එක්සත් ජනපදයට පැමිණියා. ඒ සඳහා මා මුලින්ම කළේ විද්‍යාලයකට අයදුම් කිරීමයි. මාව එම විද්‍යාලයට තෝරා ගත් පසු වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළා. විද්‍යාලයට තෝරා ගත් ලිපිය ඔබේ ළඟ තියෙනවා නම් වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසුයි. රැකියා වීසා බලපත්‍රයක් ඇති පුද්ගලයන් සඳහා වුවද, මේ ක්‍රියාවලිය සමානයි. රැකියාව පිරිනැමීමේ ලිපිය තිබේ නම් වීසා බලපත්‍රය සඳහා අනුමැතිය ලැබීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

ඉහළම වෘත්තිකයන්
  

අමෙරිකා එක්සත් ජනපදය බොහෝ ක්ෂේත්‍රවල ඉහළම වෘත්තීකයන්ගෙන් පිරුණු රටක්. මෙහි අධ්‍යාපනය, සෞඛ්‍යය, වෘත්තීය අවස්ථා, ජීවන රටාව, විද්‍යාව, තාක්‍ෂණය, ප්‍රවාහනය, විවිධ සංස්කෘතීන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීම ට හැකියි. ඒ නිසා ලොව පුරා මිනිසුන් අමෙරිකාවට ආකර්ෂණය වෙනවා. බොහෝ ප්‍රසිද්ධ නගර, මංමාවත් සහ ගොඩනැගිලි සහිත මේ රට දැවැන්තයි.

කැලිෆෝනියා ප්‍රාන්තය, ශ්‍රී ලංකාව මෙන් 6 ගුණයක් පමණ විශාල නිසා මුළු රටම කෙබඳුදැයි ඔබට සිතාගත හැකියි නේද?

මම ජීවත් වන්නේ අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තයේ හදවත වන දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ. දැවැන්ත හොලිවුඩ් නාමය සහ කිලෝමීටර් 100 ක් පමණ වූ වෙරළ තීරය නිසා ලොස් ඇන්ජලීස් නගරය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. රට දැවැන්ත බැවින් කාලගුණය ඒ අනුව වෙනස් වෙනවා. වසර පුරා ශ්‍රී ලංකාව උණුසුම්. ඒ නිසා මා මෙහි විවිධ කාල වකවානු ගැන ඉතා උනන්දුවෙන් හිටියේ. මා ජීවත් වන ප්‍රදේශයට හිම වැටෙන්නේ නැතත්, ශීත ඍතුවේ දී හිම දැකගත හැකි ආසන්නතම කන්ද වෙත පැය 2 ක ගමනකින් ළඟා වෙන්න පුළුවන්.

කැලිෆෝනියාවේ සිටීම, මට හුරුපුරුදු වූ ජීවන රටාවට වඩා වෙනස් අත්දැකීමක්. මා මේ රටේ වඩාත්ම කැමැති මෙහි ඇති විවිධත්වයටයි. ජනතාව ඉතා සුහදශීලීව නිතරම සිනහවකින් "හායි" සහ "සුබ උදෑසනක්" කියමින් සුබ පතනවා. ඒ නිසා මෙය ඕනෑම කෙනකුට පිළිගැනීමක් ඇති වාතාවරණයක් නිර්මාණය කරනවා.

කැලිෆෝනියාව වඩාත් විවිධාකාර ප්‍රාන්තවලින් එකක් ලෙස සැල‍ෙකනවා. ඒ නිසා අමෙරිකාව පුරා සිටින ජනයමෛ් නගරය දකින්නට පැමිණෙවා. මෙහි සිටින අතරතුර විවිධ පුද්ගලයන් දැන හඳුනා ගැනීමට සහ විවිධ සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා.

අධ්‍යාපනය
  

සාමාන්‍යයෙන්, දරුවකු ප්‍රාථමික, මධ්‍යම සහ උසස් පාසල් වෙත යනවා. එහිදී ඔවුන් ඉදිරියට කරගෙන යන්න කැමැති වෘත්තීන් සොයා ගන්නවා. ඉන්පසු ඔවුන් උපාධියක් ලබා ගැනීම සඳහා විද්‍යාලයේ හෝ විශ්වවිද්‍යාලයේ අදාළ වෘත්තීය අධ්‍යයන ක්ෂේත්‍රයට අයදුම් කරනවා. ඔවුන්ට විශේෂයෙන් හැදෑරීමට අවශ්‍ය නිශ්චිත මාතෘකාවක් සොයා ගත් පසු, වෛද්‍ය, නීති, ඉංජිනේරු යනාදී ඕනෑම එකක් සඳහා ශාස්ත්‍රපති, ආචාර්ය උපාධිය හෝ වෘත්තීය විද්‍යාල සඳහා අයදුම් කරන්න පුළුවන්.

ප්‍රාථමික අධ්‍යාපනය පළමු මට්ටමයි. වයස අවුරුදු 3 සිට 6 දක්වා කාලය ළදරු පාසල/ප්‍රාථමික ලෙස හැඳින්වෙනවා. ද්විතියික මට්ටම් වන්නේ මධ්‍යම (අවුරුදු 6-13) සහ උසස් පාසල් (අවුරුදු 14-18) ය. වසර 4 ක උසස් පාසල් කාලය ප්‍රධාන වශයෙන් අනාගතය සඳහා වඩාත් තීරණාත්මක වෙනවා. එය අනාගත අධ්‍යයන හෝ වැඩ සඳහා දරුවා සූදානම් කරනවා.

අධ්‍යාපන ක්‍රමය ගැන සඳහන් කළ යුතුම දෙයක් වන්නේ උසස් පාසල් වැඩසටහන් කොතරම් වටිනවා ද යන්නයි. උසස් පාසල් වැඩසටහන් තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් මට්ටමේ විද්‍යාල සඳහා සූදානම් කිරීමේ පන්ති, වෘත්තීය-තාක්ෂණික අධ්‍යාපනය, කලා, සංගීතය, STEM (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය) වැනි විශේෂතා සහ ක්‍රීඩා කෙරෙහි අවධානය යොමු කරනවා. මෙය සිසුන්ට විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ලබා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය දේ සොයා ගැනීමට උපකාරී වෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය සිසුන්ට විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබා දෙන අතර, උසස් අධ්‍යාපනය සඳහා මූලික ආරම්භයක් ලබා ගැනීමට අවශ්‍ය ඉහළ දක්ෂතා ඇති සිසුන් කෙරෙහි AP (advanced placement) පන්ති වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂිත ක්ෂේත්‍රවල දස්කම් දක්වන සිසුන්ට බොහෝ ශිෂ්‍යත්ව සහ ඉක්මනින් විද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාවත් හිමි වෙනවා.

වෘත්තීය පුහුණුව
  

පශ්චාද් -ද්විතියික අධ්‍යාපනය කියන්නේ උසස් පාසලෙන් පසු ලබන ඕනෑම අධ්‍යාපනයක්/පුහුණුවක්. මෙය විද්‍යාල, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණුව හෝ ඕනෑම වෘත්තීය අධ්‍යාපන පරාසයක පවතිනවා. මෙහිදි පිරිනමන උපාධි මට්ටම් වන්නේ ආශ්‍රිත උපාධිය, පළමු වෘත්තීය, මාස්ටර්, උසස් අතරමැදි සහ පර්යේෂණ ආචාර්ය උපාධියයි.

මට මෙහි සඳහන් කිරීමට අවශ්‍ය එක් දෙයක් නම් "ප්‍රජා විද්‍යාලය" (community college) ගැනයි. ප්‍රජා විද්‍යාලයක් කියන්නේ උසස් පාසල් උපාධියෙන් පසු වසර 2ක කාලයක් ගත කළ හැකි විද්‍යාලයක්. විශ්වවිද්‍යාලයේ දී හෝ අනාගතයේ දී තමන්ට කිරීමට අවශ්‍ය කුමක්දැයි නොදන්නා ශිෂ්‍යයකුට ප්‍රජා විද්‍යාලයේ දී බොහෝ අඩු උපකාරක ගාස්තු යටතේ විවිධ දේවල් සඳහා උත්සාහ කළ හැකියි. එය උපාධියේ පළමු වසර 2 ආවරණය කරන නිසා ප්‍රජා විද්‍යාල අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද මූල්‍යමය වශයෙන් පහසු විකල්පයක්.

මානසික සුවය ඉහළින් අගයයි
  

අමෙරිකාව චිත්තවේගීය ස්ථාවරත්වය බෙහෙවින්ම අගය කරනවා. ද්විතීයික විද්‍යාලවල උසස් අධ්‍යාපනයට ද විහිදෙන උපදේශන සේවා තියෙනවා. විවේක ගැනීමට සහ නැවත පෙලඹවීමට මානසික සෞඛ්‍ය දිනයක් ලබා ගැනීමට අධ්‍යාපනික වැඩසටහන්වලදී මෙන්ම රැකියාවේදී ද බෙහෙවින් දිරිමත් කරනවා.

උපාධිධාරියකු ලෙස, රැකියා සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය මට හොඳින් මතකයි. මතක තබා ගත යුතු එක් වැදගත් කරුණක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය අවස්ථාවලින් පිරී ඇති බවයි. පුද්ගලිකව හෝ දුරස්ථව රැකියා අවස්ථා බොහොමයක් තිබෙනවා. Covid වල ප්‍රතිඵලයක් ලෙසත් ඔන්ලයින් රැකියා බොහොමයක් නිර්මාණය වී තිබෙනවා.

රැකියා බහුලයි
 

උපාධියක් ලබා ගත් පසු රැකියා සොයා ගැනීමට උපකාර වන වෙබ් අඩවි ඇති නිසා රැකියාවක් සොයා ගැනීම පහසු වේ. විද්‍යාලවල, ඔබට සාර්ථක වීමට උපකාර කිරීමට මඟ පෙන්වන විශේෂිත සේවාවන් බොහෝ තිබෙනවා. resume වැඩමුළු, cover letter වැඩමුළු, හරහා සාර්ථක ජීව දත්ත පත්‍ර, ආවරණ ලිපි ආදිය සෑදීමට මඟ පෑදෙනවා. සීමාවාසික පුහුණුව මෙහි තියෙන තවත් බොහෝ හොඳ දේවල්වලින් එකක්. සාමාන්‍යයෙන්, සීමාවාසික පුහුණුව කියලා කියන්නේ ඔවුන් සැබෑ වැඩ කරන ලෝකයේ අත්දැකීම් ලබා ගන්නා ආකාරයයි. මගේ මහාචාර්යවරයා වරක් මට කිව්වේ සීමාවාසික පුහුණුවේ දී ඉගෙන ගන්නා දේවල් වැඩ කරන ස්ථානයක අත්හදා බැලීමක් ලෙස සිතන්න කියායි. එය කෙටි කාලීනව වැඩ කිරීමට අවස්ථා නිර්මාණය කරනවා. ඒ වගේම දීර්ඝ කාලීනව එම රුකියාව කළ හැකි දැයි බලන්න මඟ පාදා දෙනවා.

අවස්ථා/ප්‍රජාව

 

තවත් පැවසිය යුතුම දෙයක් වන්නේ මෙහි ප්‍රජාව බොහෝ උදව් කරනවා යන්නයි. ශ්‍රී ලාංකීයකුට නගරයක අඩුම තරමින් එක පන්සලක්වත් සොයා ගැනීම අපහසු නැහැ. හාමුදුරුවෝ මිනිස්සු එකතු කර රස්සා හොයාගන්න උදව් කරනවා. මා ජීවත් වූ නගර අවට බොහෝ විහාරස්ථානවලට යන්න අවස්ථාව ලැබුණා.

ආදායම හා තත්ත්වය
 

ආදායම ගැන දැන ගැනීමට අවශ්‍ය වන්නේ අවම වැටුපයි. මේ රටේ ගෙවීම් කරන්නේ පැයටයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන සේවාවන් ඕනෑ තරම් තිබෙනවා. ඕනෑම අඩු ආදායම්ලාභී පවුලක් සඳහා සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන්, ආහාර, බැංකු යනාදිය තිබෙනවා. විරැකියා චෙක්පත් රජය විසින් ලබා දෙනවා. විදුලිය සහ කුලී ගෙවීම් වැනි විවිධ සේවාවන් සඳහා අඩු ආදායම් ලාභීන්ට විකල්ප තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ රැකියා පැයක වැටුපක් සඳහා වන බැවින් රැකියා තත්ත්වයන්, එනම් රැකියා අතර උස් පහත් ලෙස වෙනසක් නැහැ. අඩු වැටුපක් ඇති කෙනකුටත් වැඩි වැටුපක් ඇති කෙනකුටත් සලකන ආකාරයෙහි වෙනසකුත් නැහැ. සැමට එකසේ සැලකීම මෙහි අගය කරයි.

 

මං ලසනි ලාවන්‍යා ජයසිංහ

අමෙරිකාවේ කැලිෆෝනියා සිට