මානසික ආතතියෙන් මිදී ජයටැඹ කරා යමු

ඔක්තෝබර් 9, 2019

‘මානසික ආතතිය’ දැන් දැන් නිතර දෙවේලේ ඇසෙන වචනයක්. මානසික ආතතියෙන් නොපෙළෙන කෙනෙක් නොමැති තරමටම එය බොහෝ සෙයින් පැතිරී ගොස් තිබේ. බොහොමයක් බෝ නොවන රෝග කෙරෙහි ද මානසික ආතතිය බලපෑම් කරන බව සොයාගෙන තිබේ.

එදිනෙදා කරන කියන වැඩකටයුතුවලදී මානසික ආතතියෙන් තොරව ‘ජයටැඹ’ කරා යන්නේ කොහොමද? මෙය බෙහෙවින් ම ස්වාභාවික වූවකි. කරදරයකට පත් වූ විට, කිසියම් පීඩනයකට ලක්වූ විට, ආවේගයකට පත් වූ විට මානසික ආතතියක් ඇතිවන්නේ නිතැතිනි. වැඩ රාජකාරි බහුල වූ විට, උහුලාගත නොහැකි අන්දමේ වැඩ රාජකාරි ප්‍රමාණයක් පැවරුණු විට ඒවා නිම කළ නොහැකි වෙද්දී මානසික ආතතියට පත්වීම නොවැළැක්විය හැකි තරම් ය.

වාහනයක් පැදගෙන යද්දි නොසිතූ මොහොතක දී තිරිංග යෙදීමට (බ්‍රේක් ගැසීමට) සිදුවීම පවා මානසික ආතතියක් ගෙන දෙන්නකි. කෙසේ වුවත් මානසික ආතතියට මුහුණ දෙන අන්දම එය දරාගන්නා අන්දම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එය ජීවිතය එපා කරවන මට්ටම දක්වාම පැමිණීම මානසික ආතතියේ උච්චතම අවස්ථාවයි.

ඉලක්ක සපුරාගත නොහැකි වීම නිසා මානසික ආතතීන්ට පත්වන්නේ දෛනික ජීවිතය සැලැස්මකට අනුව ගත නොකිරීමේ ඵලවිපාකයක් ලෙසය.

මානසික ආතතිය කෙනකු අභියෝග කරායන ගමනේ දී අත්වැලක්වන අවස්ථා ද තිබේ. එවිට කාලය නිකරුණේ වැය නොකර හැමවිටම අරමුණක් කරා යන ගමනේ දී අභියෝග ජය ගන්නේ කොහොමද යන සංකල්පයේ ම සිටියි. උදාහරණයක් ලෙස විභාගයක් ළඟදීම ඇත්නම් එය එක්තරා ලෙසක මානසික ආතතියක් ගෙන දෙන්නක්. නමුත් ඒ ඉලක්කය ජයගත යුතු නිසා රූපවාහිනි නරඹමින් හෝ වෙනත් දේවල නියැළෙමින් කාලය නිකරුණේ ගෙවා දමනු වෙනුවට විභාගය සඳහා පාඩම් කරයි. මානසික ආතතීන් යහපත් පැත්තට හරවා ගන්නට නම් නිරතුරුවම අරමුණු සහ ඉලක්ක වැදගත් වෙයි.

නමුත් මානසික ආතතිය, සීමාව ඉක්මවා යෑමේදී එය අපගේ සෞඛ්‍යයට හානිකර අන්දමින් බලපායි. එවිට ඵලදායි යමක් ගුණාත්මක දෙයක් බලාපොරොත්තු වීමට නුපුළුවන.

එසේ නම් මානසික ආතතීන් ඵලදායි අන්දමින් යොදා ගනිමින් ජීවිතය හැඩගස්වා ගන්නේ කොහොමද?

1. සැලැස්මකට අනුව වැඩ කිරීම

යම් කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වයක් ඇත්නම් එතැන නිසැකව ඇත්තේ අරමුණු සහ ඉලක්ක පසුපස හඹා යන ගමනකි. මේ හඹායෑම කළ යුත්තේ සැලැස්මකට අනුව බව අපට කොහෙත්ම බැහැර කළ නොහැකි කරුණකි.

2. යම් දෙයක් දෙස ධනාත්මකව බැලීම

අපට පැවරෙන සියලු යුතුකම් සහ වගකීම් දෙස බැලිය යුත්තේ ධනාත්මකවය. එවිට සියලු කර්තව්‍යයන් ඉතාම සතුටින්, ගුණාත්මකව කරගත හැකි වනු ඇත. බොහෝ දෙනොගේ ජීවිතවල පරමාදර්ශි වචන වී ඇත්තේ නෑ, බෑ යන්නයි. සතුටින් ගෙවන දිනෙන් දින දියුණුවන ජීවිතයකට මෙවැනි වචන කොහෙත් ම නොපෑහේවි. ධනාත්මකව සිතන පතන, දකින කෙනාගේ ජීවිතය කෙරෙන් නිසැකවම මානසික ආතතිය පලා යනු ඇත.

3. හදිසි අවස්ථා සඳහා මුහුණදීමට විසඳුම් තිබීම

හදිසි අවස්ථා ජිවිතයේ කොතෙකුත් තිබෙන්නට පුළුවන. කෙතරම් සැලසුම් කළ ජීවිතයකට වුව හදිසි අවස්ථා සඳහා මුහුණ දීමේ දී සැලසුමෙන් පිට කටයුතු කරන්නට වේවි. ඒ සඳහා ක්ෂණික තීරණ සහ ඒවාට විසඳුම් ලබා ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. මෙවැනි අවස්ථා ඔබේ ජීවිතයට එනුයේ පූර්ව දැනුම් දීමකින් තොරව යි. ඒ නිසාම පූර්ව සූදානම් වීමක් සඳහා අවකාශ නො ලැබේවි. එසේ නම් ක්ෂණික විසඳුම් කරා යන්නටම සිදු වේවි. එහෙත් මෙහෙම දෙයක් වුණොත් මට අරහෙම කරන්නත් වේවි යන සිතුවිල්ලත් ඔබ තුළ නිසැකව ම ජනිත විය යුතුයි.

ඔබේ කණ්ඩායමේ කෙනකු හදිසියේම විදෙස්ගත වුණා, නැතිනම් රෝහහල්ගත වුණා. මේ අවස්ථා සඳහා විකල්ප සමඟින් ම මුහුණ දීමට වේවි. එහිදී කොහෙත් ම ප්‍රශ්නවලින් පැන යෑමට අවකාශ නොලැබේවි.

4. ක්ෂණික තරහා නොගැනීම

තරහව, ආවේගය නිරතුරුවම පාලනය කළ යුතුය. එසේ නොවීම ඔබ නිතැතින් ම මානසික ආතතියෙන් යුතුව කාලය ගතකරන පුද්ගලයකු කරාවි. ඔබේ පවුලේ කෙනකු, රැකියා ස්ථානයේ කෙනකු, රැකියා ස්ථානයේ ඔබේ ප්‍රධානියකු වේවා, ඔබ යටතේ සිටින්නකු වේවා යම් රාජකාරියක්, වගකීමක් පැවරූ විටකදී සෘණාත්මක ආකල්පවලින් කාලය ගත කරන්නේ නම් ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට තරම් ඔබ නිහතමානී විය යුතුය.

ඒ පිළිබඳව පහදාදිම සඳහා සියුම් ක්‍රමවේදයක් භාවිත කරන්න. ඒ කෙනා තලාපෙළා දමන්නට සිතන්න එපා. ඉන් ඔබට අත්වන මානසික ආතතියෙන් මිදෙන්නට අවකාශ ලැබේවි යැයි සිතන්නට එපා. තරහා නො ගෙන සතුටින් සිටීම මානසික ආතතියෙන් මිදෙන්නට හොඳම අවස්ථාවක්.

5. විවේකයක්

අසීමිත වැඩ රාජකාරි මධ්‍යයේ වුවද කෙටි විවේකයක් ලැබීම අතිශය වැදගත් වේවි. සිරුර සැහැල්ලු කර ගැනීම, යෝගා කිරීම, භාවනා කිරීම (මෛත්‍රී භාවනාව හෝ ආනාපානසති භාවනාව) වැදගත් වේවි. මෙහිදී නව ප්‍රබෝධයක් ඇතිවේවි. එතැන් සිට ඉතිරි වැඩකටයුතු කරගෙන යෑමට හොඳ ජවයක් ලැබේවි.

6. ආහාරපාන

‘ආරෝග්‍යා පරමා ලාභා’ නිරෝගිකම උතුම්ම සැපත වීමට නම් නිසිවේලාවට පෝෂණයෙන් සපිරි ආහාර වේලකින් සන්නද්ධව සිටීම හරිම වැදගත්. කුමන අරමුණු, ඉලක්ක කරා යන්නටත් නිරෝගිව සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත්.

මේ නිසා දෛනිකව අප ගත යුතු ආහාරපාන පිළිබඳ සුළු කොට තකන්නට බැහැ. පෝෂණය සපිරි ආහාරවේලක් නො ගැනීමෙන් මානසික ආතතිය හා සටන්වදින්නට නොහැකිව පසුබාන්නට සිදුවේවි.


ආචාර්ය බුද්ධිමා සුබසිංහ
NIBM හි පරිගණක විද්‍යා අංශයේ අංශාධිපති

 

2019/10/09 තරුණි බලන්න