ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් කාන්තා කැබිනට් අමාත්‍යවරිය ෆේරියල් අෂ්රෝෆ්

දෙසැම්බර් 11, 2023

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.1%ක් කාන්තාවන්ය. 48.8%ක් පිිරිමින්ය. එසේ වූවද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහාමa 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරීම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක නව වැන්නයි මේ.

දශක ගණනාවකට පෙර එක්තරා මුස්ලිම් ජාතික දැරියක් හත ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී හරි අපූරු රචනාවක් ලියයි. එනම් අනාගතයේදී මේ රටේ අගමැති වී රට සුඛිත මුදිත කිරීම තමාගේ අරමුණ බවයි. කුඩා දැරියක්ව සිටි කාලයේ රටේ අගමැති වීමට හීන මැවූ ඇය පසුකලෙක ලොව ප්‍රථම කාන්තා ජනාධිපතිනිය යටතේ කැබ්නට් අමාත්‍යවරියක් වශයෙන් දිවුරුම් දුන්නාය. ඇගේ එම කැබ්නට් අමාත්‍යධුරය සුවිශේෂි වන්නේ මෙරට දේශපාලනය තුළ ඇය ප්‍රථම සහ එකම කැබ්නට් අමාත්‍යවරියක් වූ මුස්ලිම් කාන්තාව වීමයි. එදා ඇය තැබූ එම සුවිශේෂී වාර්තාව අදටත් එසේමයි. පාර්ලිමේන්තුව තුළ පළමු මුස්ලිම් කාන්තා නියෝජනය වන්නේ ඇයයි. මුස්ලිම් ජන සමාජයක ජීවත් වෙමින් පාර්ලිමේන්තුව දක්වා පැමිණීමම අදට වඩා එදා සමාජය තුළ ඇයට ඉතා විශාල අභියෝගයක් වන්නට ඇත.

නමුත් සාම්ප්‍රදායික බැමි බිඳ දමා තම හීනය සැබෑ කරගන්නට ඇය සමත් වූවාය. ඇය නමින් ෆේරියල් ඉස්මයිල් අෂ්රොෆ් මැතිනියයි.

සැමියා මියයාම, පියා මියයාම යන හේතු නිසා කාන්තාවන් දේශපාලනයට අවතීර්ණ වීම අදට වඩා එදා සමාජය තුළ බොහෝ විට දකින්නට ලැබුණු සාමාන්‍ය කාරණයක් විය. ෆේරියල් ඉස්මයිල් අෂ්රෝෆ් ද දේශපාලනයට පිවිසෙන්නේ සිය සැමියාවන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටූ සහ එහි ප්‍රථම නායකයා වූ එම්.එච්.එම්. අෂ්රෝෆ් මැතිතුමාගේ හදිසි අභාවය හේතුවෙනි. සැමියාගේ අභාවයත් සමඟ සාම්ප්‍රදායික මුස්ලිම් බිරිය චරිතයෙන් ඔබ්බට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ඇය තීරණය කළාය. ඒ අනුව 2000 ඔක්තෝබර් පැවති මහ මැතිවරණයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඇය පාර්ලිමේන්තු යන්නට සමත් වූවාය. එසේ පැමිණ නිවාස පහසුකම් සහ නැඟෙනහිර පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන්නාය. ඇගේ එම පාර්ලිමේන්තු ගමනේදී මුස්ලිම් කාන්තාවක් වශයෙන් ඇයට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග , පීඩනයන්, සිත්තැවුල් අතිවිශාලය.

ෆේරියල් උපන්නේ ගම්පොළ ප්‍රදේශයේ දියණියන් දෙදෙනකුගෙන් යුක්ත පවුලේ වැඩිමහල් දියණිය ලෙසිනි. ඇගේ මව සාම්ප්‍රදායික ගෘහිණියක් වුවත් ඇගේ පියා සමාජවාදයට බරව කටයුතු කළ එවකට පැවති ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකි. පවුල් පසුබිමට අමතරව සමාජවාදී අදහස් වැඩිදුරටත් රෝපණය වන්නට ඇය අධ්‍යාපනය ලැබූ මිශ්‍ර පාසලක් වූ ගම්පොළ සහිරා විදුහල උපකාරී වන්නට ඇත. ඇය සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුර ලෙස ඉගෙන ගත්තේ එහිදීය. ඇය සියලු බාහිර ක්‍රියාකාරම්වල නියැළුණාය. එහෙයින් ඇගේ පාසල් කාලය ඉතා සුන්දර එකක් විය. ඇය දේශපාලනයට පිවිසෙන්නේ සැමියාගේ අභාවය නිසා වුවත් මුස්ලිම් කාන්තාවක් වශයෙන් මේසා රැඩිකල් තීරණයක් ගැනීමට ඇයට නිතැතින්ම ශක්තියක් වූයේ ඇගේ පියා ඇයට ලබා දුන් නිදහස් සමාජවාදී අදහස් සහ අධ්‍යාපනය නිසාය.

වෘත්තියෙන් නීතිඥයකු වූ අෂ්රෝෆ් ඇයට පළමුවෙන්ම මුණ ගැහෙන්නේ දුම්රියේදීය. සාම්ප්‍රදායික හිස වසන මුස්ලිම් කාන්තාවගෙන් බැහැරව කලිසම්, කමිස අඳින ෆේරියල් පිළිබඳව තරුණ අෂ්රොෆ්ට පළමුව ඇති වූයේ ඇය කවුද යන්න පිළිබඳව කුතුහලයකි. පසුව දෙදෙනා අතර ඇති වූ මිත්‍රත්වය විවාහයෙන් කෙළවර විය. මුස්ලිම් සමාජයක කාන්තාවන් දෑවැද්ද ලබා දීම අනිවාර්ය වුවත් සමාජශීලි රැඩිකල් අදහස් ඇති ෆේරියල් එම සාම්ප්‍රදායික ක්‍රමය අතික්‍රමණය කළේ දෑවැද්දක් නොමැතිව අෂ්රෝෆ් සමඟ විවාහ වීමෙනි.

අෂ්රෝෆ් කල්මුනේ පදිංචිව නීති වෘත්තියේ නියැළුණි. ඔහු හමුවීමට නිතරම ගම්වැසියෝ ඔවුන්ගේ නිවෙසට ආ ගියහ. නිදහස් පවුල් පරිසරයක හැදී වැඩුණු ෆේරියල්ට කල්මුනේ ජීවිතය තරමක් දුෂ්කර වූයේ නිවෙසේ වැඩපළ කුඩා කාලයේ සිට තමා විසින්ම කරගැනීමේ පුරුද්ද ඈ සතු වීම නිසාය. කල්මුනේ වැසියන් ඇගේ එම ක්‍රියාව දුටුවේ ඇය දුප්පත් පවුලක කෙනකු ලෙසයි. ඇයට ඔවුන්ගේ දමිළ භාෂා උච්චාරණය අපහසු වූ නිසා ඇය අෂ්රෝෆ් සමඟ කතා කළේ ඉංග්‍රීසියෙනි. දුප්පත් එකියක් යැයි ඇය දෙස වපරැහින් බැලූ ගම්වැසියෝ ඇය උගත් කෙනෙක් ලෙසින් මේ නිසා හඳුන්වන්නට වූහ.

1985 දී අෂ්රෝෆ්ට ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මරණ තර්ජන නිසා කල්මුනේ නිවෙස අත්හැර ඔවුන් දෙදෙනා කොළඹට පැමිණ කුලී නිවෙසක පදිංචි වූහ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවන අෂ්රොෆ් සක්‍රිය දේශපාලනයට අවතීර්ණ වන්නේ ඉන් අනතුරුවයි. පසුව ඔහු නැවත ජාතික සමගි පෙරමුණ ආරම්භ කළේය. කැබිනට් අමාත්‍යවරයෙක් වූ අෂ්රෝෆ්ගේ දේශපාලන කටයුතු සඳහා ෆේරියල් හැකි උපරීම සහාය ලබා දුන්නාය. අෂ්රෝෆ්ට ආරාධනා කළ උත්සව සඳහා ඇයට ද පැමිණෙන්නැයි ආරාධනා ලැබුණ ද ඇය ඒ කිසිවකට සහභාගි නොවූයේ ප්‍රදර්ශන භාණ්ඩයක් සේ උත්සවලට ගොස් පෙනී සිටීමට ඈ තුළ තිබූ අකමැත්ත නිසාය. එක්තරා අවස්ථාවක දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාන්තා පාසලක තෑගි බෙදාදීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන්නට ඇයට අවස්ථාව සැලසෙන අතර වේදිකාවක් මත ඈ පිරිසක් ආමන්ත්‍රණය කළ පළමු අවස්ථාව වන්නේ එයයි. මහ මැතිවරණයට නාමයෝජනා කැඳවා තිබියදී 2000 සැප්තැම්බර් 16 වැනි අෂ්රොෆ් හදිසි අනතුරකින් මියගියේය. ඉන්පසුව දේශපාලනයට පිවිසෙන ඇයට එදා වේදිකාව මත තනිව සිටගැනීමත් සැමියාගේ දේශපාලනයට අත්වැලක්ව සිටිමත් පසුකාලයේ විශාල පන්නරයක් වන්නට ඇත.

ෆේරියල්ගේ දේශපාලන ආගමනය සෙසු දේශපාලන නියෝජිතයන්ට සාපේක්ෂව වෙනස් ය. සැමියා මියගිය පසුව මුස්ලිම් කාන්තාවකට මාස 04කට ආසන්න කාලයක් නිවෙසින් පිටතට යාම මුස්ලිම් සම්ප්‍රදායට අනුව තහනම්ය. මේ නිසා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගි වීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත. අෂ්රොෆ්ට ආදරය කළ ජනතාව ඇගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන ගිය අතර 2000 ඔක්තෝම්බර් 10 වැනි දින පැවති එම මහ මැතිවරණයෙන් ඡන්ද 83,353ක් ලබා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඇය ඉහළින්ම ජයග්‍රහණ කළාය. නමුත් ඉහත චාරිත්‍රය නිසා ඇයට පාර්ලිමේන්තුවට යන්නට හැකි වූයේ 2001 පෙබරවාරි මාසයේදීය. කැබිනට් අමාත්‍යවරියක් ලෙසින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට ගිය ඇයට සමකාලීන මැති ඇමැතිවරුන්ගේ නොමඳ සහාය ලැබුණි. ඇය නිරතුරුවම සැමියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටි හෙයින් පාර්ලිමේන්තු කටයුතු, කැබිනට් අමාත්‍ය ධුරයක වගකීම සහ කාර්යභාරය පිළිබඳව යම් අවබෝධයක් ද ඈ සතු වීම නිසා කැබිනට් අමාත්‍යවරියකගේ භූමිකාව ඇයට තරම්ම අපහසු නොවීය. ඒ වගේම එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගෙන් ද ඇයට නොමසුරු අනුග්‍රහයක් ලැබුණි. ඒ නිසා ඇයට ඇතිවන ඕනෑම ගැටලුවක් ජනාධිපතිනිය සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට ඇය පුරුදු වී සිටියාය.

ඇය සිය සැමියා ආරම්භ කළ ජාතික සමගි පෙරමුණ පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂයේ ඉදිරි වැඩ කටයුුතු පිළිබඳව සොයා බැලුවාය. පසු කලෙක පක්ෂ සාමාජිකයන් එයින් ඉවත්ව නැවත මුස්ලිම් කොංග්‍රසය සමඟ එක්වන විට ඇය ඊට නොසැලී මුහුණ දුන්නාය. 2001 දෙසැම්බර් මාසයේ පැවති මැතිවරණයේදී ඇයට මෙම පක්ෂයේ බිඳ වැටීම ප්‍රබලව දැනෙන්නට විය. පක්ෂයේ බහුතරයක් ඇගේ දේශපාලන ආගමනයට දැඩිව විරුද්ධ වූහ. මුස්ලිම් කාන්තාවක් නිසා ඇය දේශපාලනයේ නිරත වීම නුසුදුසු බව කීහ. මුස්ලිම් ප්‍රජාව අතරෙන්ම ඇයට විශාල විරෝධතාවක් පැමිණියද ඇය ශක්තිමත්ව නැඟී සිටියාය. එම මැතිවරණයේදී මුස්ලිම් නියෝජිතයන්ම ඇයට ඡන්දය නොදෙන ලෙස ප්‍රචාරය කළහ. මේ නිසා ඇයට මුස්ලිම් ප්‍රජාවගේ ඡන්ද අහිමි විය. නමුත් එම මැතිවරණයෙන් ඡන්ද 28,802ක ලබා මන්ත්‍රීවරියක් ලෙසින් නැවතත් පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

තමාට ලැබුණු කැබිනට් අමාත්‍ය ධුරයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඇය විශාල පරිශ්‍රමයක් දැරුවාය. එතෙක් දේශපාලන නියෝජිතයන් ගමට ගෙනගිය දේශපාලන ක්‍රමය වෙනස් කළාය. සෑම ගමකටම රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දී ගමට අවශ්‍ය ප්‍රමුඛතම සංවර්ධන කටයුත්ත සඳහා ඒ මුදල් යෙදවීමේ වැඩසටහනක් ආරම්භ කළාය. එය දිගාමඩුල්ල ජනතාව අතර ඉතා ප්‍රචලිත විය. මේ නිසා ජනතාවගේ අවශ්‍යතාව මත ගම සංවර්ධනය කිරීමට ඇයට හැකිවිය. මෙම සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට සෑම ගමකටම ඇය ගමන් කරමින් ජනතාව සමඟ ඉතා සමීපව ගනුදෙනු කළාය. මේ නිසා සිංහල, මුස්ලිම්, දමිළ සියලු ජන කොටස් ඇයට එකසේ ආදරය කළාය. එහි ප්‍රතිඵලය ලෙස 2004 පැවති මහ මැතිවරණයෙන් ඡන්ද 52,223ක් ලබා ගනිමින් දිගාමඩුල්ලෙන් දෙවැනි වැඩිම මනාපලාභියා වශයෙන් නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි කරගැනීමට සමත් වූවා.

ඇගේ මේ දේශපාලන ආගමනය ඇය මුස්ලිම් කාන්තාවක් වීම නිසා අතිශය දුෂ්කර එකක් විය. අනෙක් අතට ඇය කුඩා කල සිට පුුරුදු පුහුුණු වී සිටි සරල ඇවතුම් පැවතුම් පසුකලෙක කැබිනට් ඇමැතිවරියකට නුසුදුසු බව මුස්ලිම් කාන්තාවන් තුළින් ආ ප්‍රබල චෝදනාවක් විය. ඊට අමතරව ඇගේ ආරක්ෂකයින් පිරිමින් වීම ද ඉතා දැඩිව හෙළා දැක්කේ මුස්ලිම් කාන්තාවකට එය නොගැළපෙන බව පෙන්වා දෙමිනි. මේ නිසා 2004 පැවති මැතිවරණය ඇයට විශාල අභියෝගයක් විය. එම මැතිවරණයේදී දේශපාලන මඩ පහර එල්ල කිරීම, මැතිවරණ වේදිකාවට ගල් ගැසීම, ගමන් කරන පාරට විවිධ බාධා ඇති කිරීම, ඡන්ද පොළට ජනතාව පැමිණීම අඩාළ කිරීමට බියවැද්දීම්, තර්ජනය කිරීම, ආරක්ෂකයින්ට පහර දීම, වැනි නොයෙකුත් අඩන්තේට්ටම්වලට මුහුණ දුන්නාය. තවත් අවස්ථාවක ඇගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරේ විරුද්ධ පාක්ෂිකයෙක් කිණිස්සක් රැගෙන ඇයට අනින්නට ඉදිරියට ආවේය. ආරක්ෂක අංශ නිළධාරීන් ඉදිරියට නොයන්නැයි උපදෙස් දුන්නත් ඇය නොබියව ඉදිරියට ගොස් තමාට අනින්නැයි කී විට එම පුද්ගලයා කිණිස්සත් සමඟ පලා ගියේය.

මේ වනවිට 70වැනි වියේ පසු වන ඇය වර්තමානයේ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවීම සඳහා සිය නොමසුරු දායකත්වය ලබා දෙමින් සිටින්නීය. දේශපාලන නියෝජිතවරියක් සේම ඇය 2011 වසරේ සිංගප්පූරුවේ මහ කොමසාරිස් ලෙසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වූවාය. 2010 වසරේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද නියෝජනය කළාය. මුස්ලිම් කාන්තාව ලෙසින් ඇයට උරුමව ඇති සාම්ප්‍රදායික භූමිකාවෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ෆේරියල් අස්රෝෆ් මැතිනිය, කාන්තාවට කළ නොහැක්කක් නොමැති බව ප්‍රායෝගිකව පෙන්වා දුන්නාය.