ගීත හයකින් රසික හදවත් අමතන කැලණියේ මධූෂි

දෙසැම්බර් 11, 2023

 

මධූෂි ලක්මි බණ්ඩාර කියන්නේ නව පරපුරේ දක්ෂ ගායිකාවක්. මේ වන විට ඇයගේම ගී නිර්මාණ කිහිපයකින් සංගීත ලෝකයේ සිය ස්ථානය තහවුරු කර ගනිමින් සිටින ඇය නුදුරේදීම ගීත 6කින් යුත් ඇල්බමයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ දිගහැරෙන්නේ ඇයගේ කතාවයි.

 

ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මට සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නට ආභාෂය ලැබෙන්නේ ගෙදරින්මයි. මගේ තාත්තට, අම්මට වගේම නංගිලා දෙන්නටත් හොඳින් ගායන හැකියාව පිහිටලා තියෙනවා. මේ වන විට තාත්තා නම් ජීවතුන් අතර නැහැ. මගේ උපන් ගම කැලණිය. ඒ වුණත් මගෙ ළමා කාලය ගෙවුණේ අනුරාධපුරයේ. ඉස්සර පුංචි කාලේ ඉස්කෝලේ ඇරිලා එද්දි ගමේ වැඩිහිටියෝ මගේ සින්දු අහලා ටොෆී, චොක්ලට් වගේ පොඩි තෑගි දෙනවා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. පාසල් කාලයේ මම සංගීතය විෂයක් විදිහට ප්‍රගුණ කරනවා. පාසල් අවදියෙන් පස්සෙත් මම අනුරාධපුර යොවුන් නිකේතනයෙන් සංගීතය හැදෑරුවා.

 

සංගීතය ඔබේ වෘත්තියද?

නැහැ. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියාවක් කරනවා. අනතුරුව මම කුඩා ඇඟලුම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරය කරන අතරතුර මම ෆෘට් ජූස් බාර් එකක් පටන් ගත්තා. ඉතින් ඔය විදිහට ව්‍යාපාර කටයුතුවල නියැළෙන අතරතුරදී සංගීත කටයුතුවලත් නියැළෙනවා.

 

වර්තමානයේ සංගීත කටයුතු කොහොමද?

මගේ අම්මාගේ ලොකු හීනයක් තියෙනවා, රියැලිටි ෂෝ එකක මං සින්දු කියනවා දකින්න. ඉතින් මේ වනවිට ඒ වෙනුවෙන් සංගීතය හොඳින් ප්‍රගුණ කරන්නට මම ඉෂාන් සෝවිස් ගුරුතුමා යටතේ වැඩිදුරටත් සංගීතය හදාරනවා. මේ අතරතුර මට සංගීත ගුරුවරියක් මෙන්ම පද රචිකාවක්වන ශාන්ති ජයසිරි මහත්මිය හමු වෙනවා. ඇය, “ඔබට කියන්නද” නමින් මං වෙනුවෙන් ගීතයක් රචනාකර දෙනවා. මේ වෙනකොට ඒ ගීතයත් සමඟ ගීත 6කින් යුත් ඇල්බමයක් නිකුත් කරන්නට මම සූදානමින් පසුවෙනවා. ශාන්ති ජයසිරි, එම්. සූරියබණ්ඩාර සහ ඉෂාරා තරංගනී එම ගීතවලට පද රචනයෙන් දායක වෙනවා. මෙම සියලුම ගීත සඳහා සංගීත නිර්මාණය සිදු කරන්නේ ප්‍රවීණ සංගීතවේදී ආනන්ද වෛද්‍යෙසේකර මහතායි.

 

සංගීත ජීවිතයේදී ඔබට උපකාර කළ අයත් මතක් කරමු...

මගේ සංගීත ජීවිතය වෙනුවෙන් උපකාර කළ අය අතර ශාන්ති ජයසිරි, සංගීතවේදී ආනන්ද වෛද්‍ය‍ෙස්කර, විශාරද ගිම්හාන කෝමංගෝඩ, රංජන් අමරදේව, ඉෂාන් සෝවිස්, ගීත රචක අමිල රුවන් නන්දසේන යන අය ප්‍රධාන වෙනවා.