ජීවිතයම රහ කරන චොකලට් ගහක් වවන්නේ මෙහෙමයි

ජනවාරි 15, 2024

අපේ රටේ ගස් යට කුණුවෙන්නේ කොස්, දෙල්, අඹ වගේ පලතුරු විතරක් නොවෙයි. අපේ රටට ඩොලර් උල්පතක් මවන පලතුරු වර්ග රාශියක් තියෙනවා. ඒ අතුරින් විශේෂම පලතුරක් තමයි කොකෝවා කියන්නෙ. කොකෝවා පලතුරට ලෝකයේ තිබෙන ඉල්ලුම හා මිල ගැන ඔබ දන්නවා නම් ඔබගේ ගෙවත්තේ තිබෙන මේ පලතුරු රැක ගන්න මුරකරුවෝ දානවා. ඒ තරමට වටිනා මිලක් ඇති පලතුරක් තමයි කොකෝවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සෑදෙන කොකෝවාවලට ලෝකයේ තිබෙන ඉල්ලුම වෙන කිසිම රටකට නැති තරම්. මේ තරම් වටිනා කොකෝවා ඇටවලින් සාදන හොඳම නිෂ්පාදනය තමයි චොකලට්. මෙලෙස සාදන චොකලට් කර්මාන්තයක් ලෙස මුලින්ම ආරම්භ කළේ උපාලි විජයවර්ධන මහතා. හැබැයි ගෘහස්ථ මට්ටමින් කොකෝවා යොදා ගෙන චොකලට් සෑදීම ගැන අපට අසන්න ලැබුණත් එයින් සාර්ථක ප්‍රතිඵල අත්පත්කරගත් ව්‍යවසායකයෙක් ගැන අසන්න ලැබුණේ නැහැ.

නමුත් අපට පසුගියදා මෙවැනි ගෘහස්ථ මට්ටමින් චොකලට් නිෂ්පාදනය කිරීම පිළිබඳ සාර්ථක ප්‍රතිඵල අත්කරගත් පර්යේෂණයක් ගැන දැන ගන්න ලැබුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා තමයි මේ පර්යේෂණයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන්නෙ. කාලීනව ඉතාම වටිනා පර්යේෂණයක් කළ ඔහුගෙන් අප මේ ගැන විමසීමක් කළා. එහිදී ඔහු කළ පර්යේෂණයේ සාර්ථකත්වය ගැන අදහස් පළ කළේ මෙලෙසිනි.

ඇත්තටම කොකෝවා පලතුර කියන්නේ සල්ලි උල්පතක්. මේ කොකෝවා යොදා ගෙන තමයි චොකලට් හදන්නෙ කියලා අප සෑම කෙනෙක්ම දන්නවනේ. නමුත් ලෝකෙ නම ගිය චොකලට් හදන රටවල කොකෝවා ගහක් පළාතකවත් හැදෙන්නෙ නැහැ. ඒක තමයි මේ කර්මාන්තයේ තියෙන පුදුමය. නමුත් ඒ අතින් කොකෝවා වගාව සහ චොකලට් කර්මාන්තය සඳහා අවශ්‍ය පරිසරය, දේශගුණය, දැනුම, තාක්ෂණය මේ ඔක්කෝම තියාගෙන අපි පිටරටවලින් කෘත්‍රිම අමුද්‍රව්‍ය ගෙනත් චොකලට් නොවන චොකලට් කනවා. ඇත්තටම ආහාර විද්‍යාඥයන් ලෙස අප මේ ගැන ලැජ්ජා විය යුතු සිද්ධියක්.

ඒ නිසා මේ ගැන අපේ අවධානය යොමු කරලා පුංචි ව්‍යාපෘතියක් ආරම්භ කළා. වසර හතරකට පෙර අපි කණ්ඩායමක් ලංකාවේ අතහැරලා දාපු කොකෝවා වගාවකින් චොකලට් සෑදීම ආරම්භ කළා. මේ වැඩසටහනට අප සමඟ රටපුරාම චොකලට් කර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස සම්බන්ධ කර ගත්තා. අපගේ මුල්ම හමුවීම සිද්ධ වුණේ Zoom තාක්ෂණය ඔස්සේ. ඒ සඳහා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා එකතු වුණා. මේ වැඩසටහනට 2019 වසරේ ලෝක චොකලට් මාස්ටර් තරගය දිනපු චෙෆ් අරවින්ද ලීලාරත්න මහත්තයත් සම්බන්ධ වුණා. මේ වැඩසටහනේදී අපගේ ශිෂ්‍ය සමන්ත මිරැන්ඩෝ හා එක්ව ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කොකෝවා ගෙඩියකින් පටන්ගෙන චොකලට් බාර් එකක් සාදන ආකාරය ගැන දැනුම එහිදී බෙදා ගත්තා. දැන් අපි ඒ සියල්ල නිර්මාණය කරලා අවසන්. ඒ අනුව දැන් අපගේ ඉලක්කය වී තිබෙන්නේ කුඩා පරිමාණයේ ගෘහස්ථව මේ කර්මාන්තය සිදුකිරීම ව්‍යාප්ත කිරීමයි. අපේ අපේක්ෂාව වී තිබෙන්නේ රටේ අතහැර දමා තිබෙන කොකෝවා වගාවට නැවත පණදීලා රටේ ආර්ථිකය නැංවීම සඳහා සැලැස්මක් සකස් කිරීමයි. මේ සඳහා අපේ රටේ විශාල පිරිසක් උනන්දුවෙන් සිටිනවා අප සමඟ අත්වැල් බැඳගන්න.

ඒ වගේම දැනට බොහෝ ඉඩම්වල කොකෝවා ගස් දෙකක් තුනක් තිබෙන වගාකරුවෝ ඉන්නවා. අප ඔවුන්ට සුළු පරිමාණයෙන් මේ කර්මාන්තය ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අමුද්‍රව්‍ය සපයා ගැනීමට මඟපෙන්වීම ලබා දෙන්න සූදානම්. ඇත්තටම මේ කොකෝවා වගාවෙන් සැලකිය යුතු මිලක් ලැබෙන නිසා ගොවියෝ කොකෝවා වගාවට ඉබේම යොමු වෙනවා. ඒ ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. කොකෝවා එකතු කිරීමේ මධ්‍යස්ථාන, වගාව සඳහා පැළ, රෝපණ ද්‍රව්‍ය, අලෙවි කරන ස්ථාන පමණක් නොවෙයි ප්‍රසිද්ධ නගරවල චොකලට් අවන්හල් ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා. අපගේ දේශීය චොකලට් සංස්කෘතියක් සංචාරක ව්‍යාපාරයටත් හොඳ ඉල්ලුමක් ඇති වෙනවා. කෙටි කාලයක් තුළ මේ කොකෝවා වගාවෙන් අපට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්.

දැනටමත් මේ වැඩසටහන සමඟ විශාල පිරිසක් එකතු වී සිටිනවා. අපට ඔවුන් අමුද්‍රව්‍ය සපයනවා. ඔබගේ ගෙවත්තේ එක කොකෝවා ගහක් හරි තිබෙනවා නම් මට කතා කරන්න. මේ කාලේ තමයි කොකෝවා ඉදෙන්නෙ. මේක විශාල සම්පතක්. මේවා ගස්වල කුණුවෙන්න දෙන්න එපා. අපට පුළුවන් මේ වගාව දියුණු කර ගන්න තාක්ෂණය ඔබට කියා දෙන්න. අප දැනටමත් සැලසුම් කර තිබෙනවා ලංකාවේ කොකෝවා සෑදෙන ප්‍රදේශ වන කෑගල්ල, අකුරැස්ස, දෙණියාය, නුවර, ගාල්ල, කළුතර, කොළඹ ප්‍රදේශවල මිලදී ගන්නා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට.

චොකලට් කියන්නෙ ආගමක්. ඒකට එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කියා තාච්චියේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බැහැ. නියම තාක්ෂණයක් ඒකට තියෙනවා. නිවැරැදි තාක්ෂණය හෝම් මේඩ් හැන්ඩි මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න කැමති නම් අපට කතා කරන්න. අපි ඕනෑම මොහොතක ඔබට උදව් කරනවා. චොකලට් outlet එකක් දාන්න, කොකෝවා වගා කරන්න. මේ ඕනෑම දෙයකට අපට නියම තාක්ෂණය දෙන්න පුළුවන්. ඒ සඳහා මඟපෙන්වීම ලබා දෙන්නම්.

 

වැඩි විස්තර ලබා ගැනීමට විමසන්න - 011 2 429592

උපදෙස්

මහාචාර්ය නිලන්ත ලියනගේ

ආහාර තාක්ෂණ විද්‍යා අධ්‍යයන අංශය,

රුහුණු විශ්වවිද්‍යාලය.