ලංකාවේ ප්‍රථම කාන්තා පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය

ජනවාරි 15, 2024

 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක එකළොස් වැන්නයි මේ.

මෙරට පළාත් ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනයේ පළමුවරට කාන්තා නමක් ඇතුළත් වන්නේ 2006 වැනි මෑත කාලයකදීය. 1988 සිට 2006 දක්වා කාලය තුළ ආණ්ඩුකාරවරියක් පත් නොවූවාය. නමුත් 2006 වසරේ දී ප්‍රථම වතාවට ලංකාවේ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කාන්තාවක් පත් කරගන්නා ලදි. දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් පත්වන ඇය මෙරට පළමුවැනි කාන්තා ආණ්ඩුකාරවරිය බවට ද පත් වීමේ භාග්‍ය හිමිකරගත්තාය. 2006 ඔක්තෝබර් 23 සිට 2015 ජනවාරි 23 දක්වා අඛණ්ඩව වසර නවයක කාලයක් තුළ රුහුණේ ජනතාවගේ සිතුම් පැතුම් මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා සිය උපරිම දායකත්වය ලබා දෙමින් දකුණු පළාත සංවර්ධන මාවතකට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ඇය කුමාරි බාලසූරියයි.

 

කුමාරි බාලසූරිය උපතින්ම දේශපාලන පවුලකින් පැවත එන්නියක් වෙයි. ඇය කුඩා කල සිටම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේත් ඇසුර ලබන්නට වාසනාවන්තියක් වූවාය. ඇගේ පියා මුහන්දිරම් ඩි.පී.රාජකරුණා මහතා එවකට අත්තනගල්ල ආසනයේ මිල්ලතේ ග්‍රාමයේ විසූ ඉඩම්හිමි වැවිලිකරුවෙකි. ඔහුගේ බිරිය ලොකුමැණිකේ මංචනායකයි. ඔවුන්ට පිරිමි දරුවන් පස් දෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනකු වූ අතර කුමාරි බාලසූරිය ඒ පවුලේ බාලම දරුවා විය. ඔහු අත්තනගල්ල ආසනයේ ගම්සභාපති වූවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් ද විය. බණ්ඩාරනායක පවුල සමඟ ඔවුන්ට තිබුණේ ඉතා සමීප හිතවත්කමකි. මේ හිතවත්කම කොතෙක් ද යත් කුඩා ළදැරියක්ව සිටි කුමාරි කොළඹ විශාඛා විදුහලට ඇතුළත් කිරීමට ඔවුන් ගත් තීරණය මැතිනියගේ උපදෙස් මත වෙනස් වී මූලික අධ්‍යාපනය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ලබා ගත්තාය. ද්විතීයික අධ්‍යාපනය කොළඹ මියුසියස් විදුහලෙන් ලබා ගන්නා ඇය ඉන් වසරකට පසුව විවාහ යෝජනාවක් මත විවාහ දිවියට පිවිසුණාය.

 

ඇය විවාහ වන්නේ වෘතියෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ජගත් මානෙල් බාලසූරිය සමඟිනි. ඔහුගේ පියා එවකට ගලිගමුව ප්‍රදේශයේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ පී.බී. බාලසූරියයි. විවාහයෙන් පසුව ආචාර්ය උපාධිය සඳහා බටහිර ජර්මනියේ වසර තුනක් ගතකළාය. ලංකාවට පැමිණි පසුව දේශපාලනයට පිවිසෙන්නැයි ගලිගමුව ජනතාවගේ ඉල්ලීම් හේතුවෙන් 1977 මහ මැතිවරණයට ජගත් පෙනී සිටියේය. එයින් ජයග්‍රහණය ලබන්නට නොහැකි වුවත් 1989 පැවති මැතිවරණයෙන් ජයග්‍රහණ ලබා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද 2010 – 2015 කාලය තුළ කැබිනට් අමාත්‍ය ධුරයක්ද දැරුවේය. 2003 – 2006 දක්වා කාලය තුළ උතුරු මැද ආණ්ඩුකාරවරයා ද විය. ඒ අවස්ථාවේ ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළේ ඇයයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වූ පසුව ඇයට එම අත්දැකීම් පහසුවක් වන්නට ඇත.

 

1977න් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා දායකත්වය ලබා දුන් ඇය එවකට ශ්‍රී.ල.නි. පක්ෂයේ කාන්තා සංවිධානයේ ලේකම් වශයෙන් ද කටයුතු කළාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී.ල.නි. පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තේරිපත් වුණු ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි.

 

දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීමට ඇය තුළ මුලින් වැඩි කැමැත්තක් තිබුණේ නැත. එවකට ජනාධිපතිවරයා නියෝජනය කළ පළාත වීම නිසාත් මෙවැනි තනතුරක අත්දැකීමක් ලබා නොමැති නිසාත් ඇය එම තනතුර පළමුව ප්‍රතික්ෂේප කළාය. එය කනවැකුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “කුමාරි ඔයා වැඩ කරගෙන යද්දී රතු, කහ, නිල්, කොළ පාට බලන්න එපා. හැමකෙනාටම එක වගේ සලකන්න. කිසිම කාරණයකදී දේශපාලන භේදයක් තියාගන්න එපා” යනුවෙන් උපදෙස් දෙමින් තනතුර භාර ගන්නා ලෙස ඇය දිරිගැන්වීය.

 

එම තනතුර භාර ගත් දින සිට ධුර කාලය අවසන්වන තුරු දකුණු පළාතේ ජනතාව විශාල සහයෝගයක් ලබා දුන් බව ඇය ඉතා කෘතවේදීව සිහිපත් කරයි. දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන් ද ඇයට ලබා දුන් මිත්‍රශීලි සහයෝගය හේතුවෙන් රාජකාරි දිවිය තුළ කිසිදු අභියෝගයකට, දුෂ්කරතාවකට මුහුණදීමට අවස්ථාවක් ඇයට තිබුණේ නැති තරම්ය. මේ නිසාම බුහුමන් ලබන තනතුරකට පමණක් සීමා වී තිබූ ආණ්ඩුකාර ධුරය මහජනතාව සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කළ හැකි තනතුරක් බවට පත් කරන්නට ඇයට හැකි විය. උද්ඝෝෂණයක්, ගැටලුවක් ඇතිවූ වහාම අදාළ පාර්ශ්වය ගෙන්වා ඒ අවස්ථාවේම එම ගැටලුවට විසඳුම් ලබා දීමට ඇය කටයුතු කළාය.

 

වරක් ගාලු කොටුව ඉතා අපිරිසුදු තැනක් බවට පත්ව තිබෙනු ඇයම දුටුවාය. ඒ දුටු වහාම ඇය ගාල්ල නගර සභාවේ සේවය කළ කම්කරුවන් ආණ්ඩුකාර නිල නි‍ෙවස වෙත කැඳවා ඔවුන්ට තේ පැන් සංග්‍රහ කළාය. පසුව ගාලු කොටුවේ වැදගත්කමත් විදේශිකයන් එහි පැමිණෙන විට අපිරිසුදු වී තිබීම රටට හොඳ නැති බවත් ඔවුන්ට ඉතා හොඳින් වටහා දුන්නාය. පසු දින සිට ගාලු කොටුව ඉතා පිරිසුදුව තබා ගැනීමට එම කම්කරුවෝ කටයුතු කළහ.

 

ඇගේ රාජකාරි ජීවිතය තුළ අමතක නොවන සිදුවීම වන්නේ එකල ජනාධිපතිවරයාගෙන් කොයි මොහොතේ හෝ ඇයට ලැබෙන දුරකථන ඇමතුමයි. මේ දුරකථන ඇමතුම ලැබෙන්නේ පළාතේ කුමන හෝ අඩුපාඩුවක්, ගැටලුවක් සම්බන්ධවයි. වරක් පාන්දර පහට පමණ ඇයව ඇමතූ ජනාධිපතිවරයා “කුමාරි ගාලු කොටුවේ වතුර නෑ කියන්නේ ඇත්තද” යනුවෙන් විමසුවේය. ඒ දිනවල ක්‍රිකට් තරගයක් පැවති නිසා කොටුවේ ජල සැපයුම නවතා තිබුණි. නමුත් එදින රාමසාන් දිනයකි. මුස්ලිම් ප්‍රජාව බහුතරයක් ඒ අවට සිටිති. පසුව ඇය කඩිනමින් එම තත්ත්වයට පිළියම් යෙදුවාය. තවත් දිනෙක තංගල්ල රෝහලේ මිනී කුණුවෙන බව ජනාධිපතිවරයා ඇයට දැනුම් දුන්නේය. ඇය ඒ පිළිබඳව සොයා බලන විට මිනී දවන උපකරණය අක්‍රිය වීම නිසා මිනී ගොඩ ගැසී තිබෙන බව දැනගන්නට ලැබිණ. පසුව ඒ සඳහා තාවකාලික විසඳුමක් ලබා දුන්නද එය ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ ශිල්පියෙක් සොයා ගැනීමේ ගැටලුව මතුවුණි. එදින මාතර ප්‍රදේශයට ගංවතුර බැවින් එම නිලධාරියට තංගල්ලට පැමිණීමට අපහසු විය. මේ බව දැනගත් වහාම නාවික හමුදාව කැඳවා බෝට්ටුවකින් එම නිලධාරියා කැඳවා එදින සවස වනවිට ගොඩගැසුණු මිනී සියල්ලම දවන්නට ඇය කටයුතු කළාය.

 

එකල ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොගිය රෝහලක්, පාසලක් නැත. රෝහල් කාර්ය මණ්ඩල සමඟ ඇය ඉතා සමීපව කටයුතු කළාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සේවයට පළාතේ වෛද්‍යවරුන් විසින් ඇයට ගෞරව සම්මානයක් ද තිළිණ කළහ. දිනක් දෙයියන්වල ප්‍රදේශයේ පැවති කාන්තා රැස්වීමකට සහභාගි වී ඒ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලට ද ඇය ගොඩ වැදුණාය. ඒ අවස්ථාවේ එහි වැඩමකර සිටි භික්ෂූන් වහන්සේ නමක් රෝහලේ අඩුපාඩු පෙන්වමින් ඇයට නොසෑහෙන්නට බැණ වැදුණහ. ඇය තනතුර භාරගෙන මාසයක්වත් ගත වී නැත. නමුත් ඇය ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය පහසුකම් සියල්ල සපයා රෝහල අලුත්වැඩියාකර දුන්නාය. වසරකට පසුව ඒ හිමිනම නැවත හමු වූ අවස්ථාවේ “දැන් කොහොමද හාමුදුරුවනේ රෝහල” ඇසූ විට “දැන් බත් දාගෙන කන්න පුළුවන්නේ” යනුවෙන් උන්වහන්සේ සතුටින් ප්‍රකාශ කළහ.

 

රාජකාරි දිවිය තුළ ඈ ප්‍රගුණ කළ තවත් ගුණාංගයක් වූයේ සෑම බදාදා දිනකම ඇයව මුණගැසීමට දුරබැහැරෙන් පැමිණෙන භික්ෂූන් වහන්සේ සහ කුඩා දරුවන් වෙනුවෙන් නිල නි‍ෙවසේ වැඩිපුර දහවල් ආහාර වේල සකස් කර තැබීමට කටයුතු කිරීමයි. ඒ වගේම ජනතාවගේ අභියාචනා සම්බන්ධ ගැටලු කල්නොයවා විසඳා දෙමින් මහජන සේවා කොමිසමේ ලිපිගොනු කඩිනමින් අවසන් කිරීමට ඇය උපරිම උත්සාහ කළාය.

 

ධුර කාලය තුළ චෝගම් ඇතුළු ජාත්‍යන්තර සමුළු පවත්වමින් දකුණේ ජනතාවට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමටත් ඇයට හැකියාව ලැබිණ. දේශීය සහ විදේශීය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තරකර ගනිමින් කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ පූර්ව ළමා විය සංවර්ධනය සඳහා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළාය.

 

ඇය සිය දියණියටත් පුතාටත් කිසිම විටෙක දේශපාලනයට පිවිසෙන්නැයි ආරාධනා කළේ නැත. රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියෙක් ලෙස රැකියාව කරමින් සිටි තාරක ඉන් ඉවත්ව දේශපාලනයට පිවිසෙන්නට තීරණය කළ විට ඇය තරමක් වික්ෂිප්ත වූවාය. පසුව ඇය ඔහුට උපදෙස් දුන්නේ හැකි උපරිමයෙන් ජනතාවට සේවය කරන ලෙසත් කරන කාර්යයට අවංකවන ලෙසත්ය. කිසිම අවස්ථාවක තම නාමයට හානියක් නොකරගෙන සිය මුත්තණුවන් මෙන් මහත්මා දේශපාලනයක නිරතවනු දැකීම ඇගේ අපේක්ෂාව විය. මවුපියන්ගේ ආභාසය ලබමින් තාරක බාලසූරිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය සරච්චන්ද්‍ර රාජකරුණා මහතා ඇගේ වැඩිමහල් සහෝදරයෙක් වන අතර හර්ෂණ රාජකරුණා සහ නිපුණ රණවක මේ වන විට දේශපාලනයේ නිරත ඇගේ අනෙකුත් ඥාති දරුවෝය.

 

ජගත් බාලසූරියගේ පියා වූ පී. බී. බාලසූරිය මහතා මිය යන්නේ ප්‍රජා අයිතිය අහිමිව සිටියදීය. ඒ අවස්ථාවේ ජගත්ගේ මව දිනපොතේ සටහනක් තබමින් මහත්තයාගේ අවමඟුලට වියදම් කිරීමට මම මගේ රත්රන් බඩු රඹුක්කන මහජන බැංකුවට උකස් කළෙමි.” යනුවෙන් ලියා තිබූ බව සිහිපත් කරන ඇය දේශපාලනය තුළ ඔවුන්ගේද ආදර්ශ පාඨය එයම වූ බව සඳහන් කළාය. ලංකාවේ පළමු ආණ්ඩුකාර ධුරය දරමින් සේවය කළ කාලය ඇගේ ජීවිතයේ අමතක නොවන සුන්දර කාලපරාසයක් බව අදටත් ඇය සිහිකරන්නීය. දකුණේ ජනතාවගේ මිත්‍රශීලි භාවයත් තම ආදරණීය සැමියා ඇතුළුව පවුලෙන් ලැබුණු සහයෝගයත් නිසා තම ධුර කාලය ඉතා තෘප්තිමත් සහ වැඩදායි ලෙස නිමා කිරීමට හැකිවීම පිළිබඳව ඈ තුළ අද ඇත්තේ නිහතමානි සතුටකි.