ප්ලේන්ටියක් ඇද්ද මිස්?

ජනවාරි 22, 2024

 

පෙර සටහන

වැහි අඳුරින් බර වූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකථන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර, ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.

එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.

මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතුවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නව නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදී.

මෙතැන් පටන් තරුණීහි පළ වන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.

මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදි. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී දැන් කියවන්න.

මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.

 

සිවුවැනි දිගහැරුම

දකුණු අත පැත්තෙන් පටු මාර්ගය දිගේ ඇවිද යන මට දකින්නට ලැබෙන්නේ සෙරෙප්පු විලාසිතා, කොණ්ඩ කටු, හම් භාණ්ඩ, බෑග් බිම එළා ගත් වෙළෙන්දෝ පිරිසකි.

බඹරැල්ලේ පොළට වඩා විශාල පොළක් මා මීට පෙර දැක නැත.

එසේ ඇත්නම් ඒ දැක තිබුණේ කේරළයේ චිත්‍රපටවල පමණි. දැන් කොළඹ කොතරම් ලොකු දැයි මට සිතේ. ක්‍රමයෙන් මම කුඩා විදී දිගේ විදුලි පහන්වලින් මංතීරුවකට පැමිණියෙමි. දැන් බය සිතින් පහව යමින් තිබේ. බය පහව යාමත් සමඟ නැවතත් බඩගින්න එයි.

මම දකුණු අත පැත්තේ තිබූ හෝටලයකට ගොඩවුණෙමි.

 

"මොනවා ද මිස් කන්නේ ? රොටි, පරාටා, බර්ගර්, සැන්ඩ්විච්, කොත්තු ඔක්කොම තියෙනවා. වාඩි වෙන්න, වාඩි වෙන්න."

මා බලාපොරොත්තු වූයේ සින්නගේ කඩයේදී මෙන් උණුසුම් රොටියකි. නමුත් ඩොල්ෆින්, බර්ගර් ඒ වචන අසා තිබුණේ රූපවාහිනියෙන් පමණි.

"මට දෙන්නකෝ. ප්ලේන්ටියක්."

 

"ප්ලේන්ටියක් ඇද්ද මිස්?"

"ඇති"

මා දෙස දෙවරක් බලා ඔහු යන්නට ගියේය.

 

ප්ලේන්ටිය රැගත් තරුණයා පැමිණ එය මා අතට දෙනවා වෙනුවට දඩාස් ගා ප්ලෙන්ටිය මේසයේ ගැසුවේය.

කොළඹට ප්ලෙන්ටිය එතරම් ලොකු නැති බව මට දැනුණි. එය උගුරු දෙකට හිස් කළ මම විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක වූ දුම්රිය පොළ ඉදිරියට පැමිණියෙමි.

මඟ පෙන්වන්නා කියූ පරිදි එහි ඉදිරිපිට විශාල ප්‍රතිමාවකි. මම එම ප්‍රතිමාව ඉදිරියට පැමිණියෙමි. පාරේ යන එන වාහන දෙසත් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් දෙසත් බොහෝ වේලාවක් බලා සිටියෙමි.

දැන් මා ඉරණම විසඳන්නා පැමිණිය යුතුය. තව ස්වල්ප මොහොතකින් ඔහු මා රැගෙන ඉරණම් ගමන කැඳවාගෙන යයි.

ඒ ඉරණම් ගමන ජීවිතය සාර්ථක වේද නොවේද දන්නේ ඔහුත් මමත් උඩ සිටිනා දෙවියොත් පමණකි.

මම කුඩා කල සිටම දෙවියන් විශ්වාස කළෙමි. දෙවියන් මේ ලෝකය මැවූ බව කියන කතාව ඇතැමුන් විශ්වාස කළ ද නොකළ ද මම එය තදින් විශ්වාස කළෙමි.

අපේ ගෙදරට පහළ ගංගාව මැවුවේ දෙවියන් යැයි සිතමි. මන්දයත් ඒ ගංගාව නොවන්නට අපට ජිවිතය එළිදකින්නට නොතිබිණි. බඩගින්නේ සිටි බොහෝ වාරයකදීම එම ගංගාව අපට බොන්න වතුර දුන් බව මතකය.

 

එබැවින් එම ගංගාව දෙවියන් විසින් අපව ජීවත් කරවන්නට මැවූ දායදයක් බව මම විශ්වාස කරමි.

 

අතීත කතා බොහෝය. වර්තමාන කතා දැන් ගෙවමින් අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ දැයි නොදනිමි.

 

අම්මා දුන් කරාබු යුගල මා සන්තකවම ඇති එකම මගේ සෙනෙහසේ තිළිණය නැවත නැවතත් අතගාමි.

 

දූවිලි ලවණ මුසු වියළි සුළඟ දැන් දෑස් කෙ‍ෙවනිවලට එබේ.

 

වෙනදා මේ වේලාවට කුඩා ලයිමේ අගු පිලේ ඇති බූරු ඇඳේ සුවසේ නිදාගන්නා මම දැන් සිටින්නේ කොළඹ කොටුව ස්ටේසමේ ඉදිරියේය. තාමත් ඔහු එන පාටක් නැත.

 

පැමිණෙනවා යැයි කිව්වේ රෑ නමයටය. දැන් දහයටත් ළඟය. ඒ බව පවසන්නේ කොටුව දුම්රියපොළේ විශාල ඔරලෝසුවෙනි. කොළඹ කොටුවේ සිට වව්නියාව බලා පිටත් වන දුම්රිය තව ස්වල්ප මො‍හොතකින් දෙවැනි වේදිකාවට පැමිණෙනවා ඇත. ජීවිතයේ දහසක් බලාපොරොත්තු බෑගයක දමා ගත් මගීන් වේදිකාවට ගොඩවන්නේ සිනා මුසු මුහුණින්ය. දුක් මුසු මුහුණින්ය. ඇතැමුන්ට ඇත්තේ බලාපොරොත්තු සුන් වූ මුහුණුය. ඒ සෑම මුහුණකම ඇත්තේ මිය යාමේ පරාදීන මානසිකත්වයක් නොවන බව මම වටහා ගතිමි. එබැවින් මම ජීවිතය ජයගත යුතු යැයි සිතුවෙමි.

 

එන්න එන්නම වෙහෙස තදින්ම දැනේ. ගමනේ මහන්සියත් ජීවිතේ විඩාවත් ඔළුවේ බර ගතියත් මා නැවත නැවතත් විඩාවට රැගෙන යයි. මා කොළඹ කොටුව ඉදිරියේ ඇති බංකුවට වී බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියෙමි. දැන් එකොළහට ළඟය. තවමත් මා ගෙන යන්නට පැමිණෙන ඔහු පැමිණ නැත. ජංගම දුරකතනය කිහිප වරක් බැලුවද එයට කිසිදු පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලැබී නැත. මම නැවතත් කොටුව ස්ටේෂමේ බංකුවට හිස තබා ගත්තෙමි.

 

ජීවිතය කෙසේ හෝ විසඳිය යුත්තකි. ජිවිතය දෙස බැලිය යුත්තේ උපේක්ෂා සහගත බවකින් යුතුවය. මිනිස්සු ජීවිතය දෙස බලන කෝණය මිනිස්සුන්ගේ ජිවිතය වෙනස් කරන බව මා කුඩා කාලයේ ඉගෙන ගෙන ඇත.

 

එබැවින් මම පලා යාම නොව හඹා යාම ජීවිතයේ අපූර්වාදර්ශය කරගත් තරුණියක්මි.

 

තවත් දිගහැරුමකින් හමුවෙමු