වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
පොඩි පොඩි App වලින් ලොකු වැඩ
අපි හැමෝම ජීවත් වෙන්නේ තාක්ෂණික ලෝකෙක. ඉතින් ස්මාට්ෆෝන් එකත් දැන් අපේ ඇඟේ කොටසක් හා සමානයි. හැබැයි මේක නරක දේකුත් නෙවෙයි. මොකද තාක්ෂණයත් එක්ක අපේ වැඩ දැන් සෑහෙන්න පහසු වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේ සැලසුම් කරගන්නත් අපිට මේ ස්මාට්ෆෝන් එකයි ඒකේ තියෙන ඇප්ස් ටිකයි පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි ඉතින් ඒ ක්‍රමවේදය දැනගෙන ඉන්නත් ඕනේ.
එදිනෙදා වැඩ ප්ලෑන් කරගන්නවා කියන එක කොටස් කීපෙකට බෙදෙනවා. එකක් කාලය කළමනාකරණය කරගන්න එක. දෙවෙනියට වැඩ කලින් සැලසුම් කරගන්න එක. තුන්වෙනියට සැලසුම් කරගත්තු වැඩ බොහොම සපලදායීව ඉෂ්ට කරන එක. හතරවෙනියට වැඩ අතරේ විවේක ගන්න එක. ඔය හැම එකක්ම කරන්න අවකාශය ලබා දෙන ඇප්ස් දැන් තියෙනවා. අපි මේ කියන්න යන්නේ එහෙම ඇප්ස් කීපයක් ගැන
TimeTune
අපි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන සීමිත කාලෙන් උපරිම වැඩ කොටසක් කරගන්නේ කොහොමද කියන එක. කීදෙනෙක් කීපාරක් හිතලා තියෙනවද දවසට වැඩිපුර පැය විසිහතරක් තිබුණා නං හොඳයි කියලා. හැබැයි අපිට එහෙම වැඩිපුර පැය ඇඩ් කරගන්න බෑ. ඒත් අපිට පුළුවන් තියෙන කාලය ඇතුළතදී උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න. ඒකට උපකාරි වෙන ඇප් එකක් තමයි මේ.
මේ ඇප් එකෙන් අපිට අපේ දවසේ දිනචරියාව හදාගන්න පුළුවන්. දවසේ කරන්න ඕෙන වැඩ ලැයිස්තුගත කරගන්න පුළුවන්. ඒවලට සිහිකැඳවීම් ලබා ගන්නත් පුළුවන්. නින්දට, විවේකයටත් කාලය වෙන් කරන්න පුළුවන්. ඒ වගේම පහුවුණු දවස්වල අපි වැඩ කරපු හැටි ආපහු විශ්ලේෂණය කරලා අපේ දවස ඇතුළේ වඩාත් ප්‍රශස්තව කාල කළමනාකරණය කරගන්නත් පුළුවන්.
Tide
දවස සැලසුම් කරනකොට දවසේ වැඩ කිරීම වගේම වැදගත් දේවල් තව තියෙනවා. එකක් තමයි හරියට නිදාගන්න එක. ඒ වගේම කාර්යබහුල දවසේ මොහොතක් හරි පොඩ්ඩක් රිලැක්ස් වෙන එක. එතකොට භාවනාවක් විදිහට විනාඩියක් දෙකක් හිතලා මතලා හුස්ම ගන්න එක. ඔන්න ඔය වැඩ ඔක්කොටම හරියන්න හදපු විශිෂ්ට ඇප් එකක් තමයි මේ. මේ ඇප් එක බොහොම සරලයි. අපිට වැඩවලට හොඳට ෆෝකස් වෙලා වැඩ කරන්න ඕෙන නම්, මේකේ තියෙනවා පොමොදෝරෝ ටෙක්නික් එකක්. ඒ කියන්නේ මිනිත්තු විසිපහක් වැඩ කරලා පහක් විවේක ගන්න එක. ඕෙන නම් ඒ වෙලාවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ ටයිමර් එක දැම්මට පස්සේ අපිට වැඩ කරන්න හොඳටම පුළුවන් පසුබිම් ශබ්දත් තෝරගන්න පුළුවන්. හුස්ම ගන්න එකත් එහෙමයි. බොහොම රිලැක්ස් එකේ විනාඩියක් හිතලා මතලා හුස්ම ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් මේ ඇප් එකෙන් ලබා දෙනවා. රිලැක්ස් වෙන එක වුණත් එහෙමයි. නිදාගන්න එක වුණත් එහෙමයි. විශේෂයෙන්ම ගැඹුරින් රිලැක්ස් වෙන්න, නිදාගන්න පුළුවන් විදිහේ පසුබිමක් මේ ඇප් එකෙන් හදලා දෙනවා.