කඩුල්ලෙන් එපිටට

පෙබරවාරි 3, 2025

 

ලංකාවේ ජනගහනයෙන් හරියටම අඩකට මඳක් වැඩිපුර එනම් 52%ක් සිටින්නේ ගැහුනුය.

ලංකාවේ විදේශ විනිමයෙන් වැඩිම ප්‍රතිශතය ලැබෙන්නේ තේ, ඇඟලුම් සහ සංක්‍රමණික සේවයෙනි. තේ කර්මාන්තයේ සාධනීය දායකත්වය ස්ත්‍රීන්ය. ඇඟලුම් කර්මාන්තය තුළ ද එසේමය. සංක්‍රමණික සේවයෙන් ලංකාවට වැඩිපුර මුදල් එවන්නේ නුපුහුණු ගෘහ සේවිකාවන්ය. එහෙත් මෙම කිසිදු ස්ත්‍රියක් ලංකාවේ පිළිගැනීමට ලක්වන්නේ ද? ඔවුන් විඳින්නේ අපා දුක්ය. මිනිසුන් මේ අසමානතා කෙරෙහි පොදුවේ අන්ධ ගොලු බිහිරන්ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්ත්‍රීන්ගේ හැකියාවන් පිරිමින්ට පරදවන්නට හැකි නොවූවද ලංකාවේ සැලකිය යුතු පිරිසක් උපාධිධාරි ගෘහිණියන්ය. එවිට ඔවුන්ට ඉගැන්වු ජාතික ධනය වතුරේය. උපාධිධාරි ගෘහණියන් නිවෙස්වලට කොටුවී කල් ගත කරන ජීවිතය තෘප්තිමත් ද?

ශ්‍රම දායකත්වය තුළ තවමත් ස්ත්‍රී නියෝජනය පසුගාමීය. නැතහොත් ඔවුන් විරැකියාවෙන් පෙළේ. අඩු වැටුප් ලබයි. සේවාස්ථානයන්හි හිංසනයන්ය. මඟතොට හිංසනයන්ය. ස්ත්‍රීන් සම්බන්ධවම ස්ත්‍රී ආකල්ප දුප්පත්ය. පිරිමි ස්ත්‍රීන් දෙස බලන ආකාර පසුගාමිය. ස්ත්‍රිය මෙන්ම පිරිමියා ද සිතන්නේ ස්ත්‍රින් දෙවන පෙළ මනුෂ්‍ය කොට්ඨාසයක් බවයි. එය වෙනස් කරන්නේ කෙසේද? මේවා වෙනස් කළ යුත්තේ අැයි?

තීරණ ගන්නා ස්ථානවල ස්ත්‍රීන් දුලබය. ස්ත්‍රී අයිතීන් පිළිබඳ කථිකාව බිම්මට්මටමට ගලා ගොස් නැත.

මෙවන් පසුබිමක ස්ත්‍රි පුවත්පතක කාර්යභාරය විශාලය. ඒවා මල් හැදිමේ කේක් අයිසින් කිරීමෙන් මනාලියන් ඇන්දීමෙන් ඔබ්බෙහි ස්ත්‍රීන් බලගැන්විය යුතුය. ඒ සඳහා අාකල්ප සංවර්ධනය කළ යුතුය.

ස්ත්‍රියකගේ ගමන දුෂ්කරය. ඇයගේ ඉගෙනීම රැකියාව ගෙදර දොර වැඩ කටයුතු දරුවන්ගේ වැඩ කටයුතු සමඟ වෘත්තීය හෝ අධ්‍යාපන සාර්ථකත්වය පමා වෙයි. එක්කෝ ඇය ඒවා අතහැර දමයි.

ඇයට ඇගේ ගමන සාර්ථක කර ගැනීමට අත්වැල් අල්ලන්නේ කෙසේද? එයට තමා සමඟ සිටින මව, පියා වැඩිහිටියන් සැමියා සහෝදරයන් හෝ දරුවන් සහාය දැක්විය යුත්තේ කෙසේද? එසේ සහාය ලබා ගන්නේ කෙසේද? මේවා තවමත් ලංකාව තුළ ඉගැන්විය යුතු සංවර්ධනය කළ යුතු අදහස් වශයෙන් පවතී. ඒවාට විවිධ ප්‍රවේශයන් ලබා ගත යුතු වෙයි. ජීවන අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒ තුළින් උගත හැකි පාඩම් විමසීම, ඉතිහාස අධ්‍යයනය, ඉතිහාස කතා නැවත කියවීම, ජනශ්‍රැති අධ්‍යයනය, ජනශ්‍රැතිවල ඇති ස්ත්‍රී ද්වේශී ආකල්පවලින් අප මිදෙන්නේ කෙසේද? මේවාට විචාරත්මක චින්තනය අවශ්‍යය. ප්‍රශ්න කරන සුළු මනස් අවශ්‍යය. ඒවා සාදන්නේ කෙසේද? අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් ලෙස ලියවෙන මෙම කොලම තුළින් කතන්දර ස්වරූපයෙන් මෙම සමාජීය ගැඹුරු කතිකාව නිර්මාණත්මකව ඉදිරිපත් කිරීම අපේක්ෂා කරයි.

 

 

සංජීවනී රූපසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය