වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
යන්නම් පුතේ...

සිරිමාන්න කඩුල්ල ඉදිරියේ නැවතී තරමක වේලාවක් ගු රු නිවාසය දෙස බලා සිටියේය. ලොකු පුතාත් ඔහුගේ බිරියත් පාසලට යන්නට මිදුලට බසිනවාත් ඔහු බලා සිටියේය.
"තාත්තේ . . . . . ඇයි මේ හදිසියේ ආවෙ මුකුත් ප්‍රශ්නයක්ද?"
ලොකු පුතා වහ වහා ඇසුවේ තැතිගත් ස්වරූපයෙන් බව සිරිමාන්න වටහා ගත්තේය.
"නෑ . . . නෑ . . . ලොකු පුතාව කාලෙකින් දැක්කේ නැති නිසා මට ඇවිත් යන්න හිතුණා. මම ආවේ රෑ කෝච්චියෙන්. මේ ගමට එන බස් එක අල්ලගන්න ස්ටෑන්ඩ් එකේ තරමක් වෙලා ඉන්න වුණා."
“ඔයා ඉස්කෝලෙට යන්න. මම තාත්තට කන්න මොනවා හරි ලෑස්ති කරලා දීලා පස්සේ එන්නම්.
ලේලිය පැවසුවාය.
“තාත්තේ අපි යමු ගෙට.”
“දුවේ මම ටවුමෙදී පාන් කෑල්ලක් කෑවා. මොනවත් කෑම ලෑස්ති කරන්න ඕනේ නෑ. දුව රාජකාරියට යන්න. මම ඔයාලා එනකම් ඉන්නම්.”
“දැන් අපේ මහත්තයා තමයි මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. මම පරක්කු වුණා කියලා ප්‍රශ්නයක් නෑ. තාත්තා මූණ කට හෝදගෙන එනකොට මම තේ ලෑස්ති කරන්නම්. රෑ කෝච්චියෙන් ආපු නිසා හරි හමන් නින්දක් නැතිව ඇතිනේ. ටිකක් නිදාගන්න.”
ඇය කීවාය.
සුවපහසු අසුනක වාඩි වූ සිරිමාන්න හිස ඒ මේ අත හැරවීය. ගුරු නිවාසය ඉතා පිළිවෙළකට තබාගෙන සිටි ආකාරය දුටු ඔහුගේ සිත සතුටින් පිරී ඉතිරී ගියේය. යාබද ඉඩමේ පාසලේ විදුහල්පති තම ලොකු පුතා යැයි දැනගත් මොහොතේ පටන් ඔහුට දැනුණු සතුට අසීමිතය. ඒ සතුට වැඩි වේලාවක් නොපැවතියේ පොඩි පුතාගේ බිරිය සිහිපත් වූ බැවිනි. ගේදොර පිළිවෙළකට තබා ගන්නට ඇයට ඇති නොහැකියාව ගැන සිරිමාන්නට දැඩි කලකිරීමක් ඇති විය. තම බිරිය එකල පන්සලක් ආකාරයෙන් පවත්වාගෙන ගිය නිවෙසට අත් වූ ඉරණම ඔහුගේ සිත බෙහෙවින් තළා දැමුවේය.
තේ මේසය සූදානම් කරමින් ලේලිය කතා කළාය.
"තාත්තා ගෙදර යන්න හදිස්සි වෙන්න එපා. මම දවල්ට උයලයි තියෙන්නේ. අපි එනකොට එකහමාර පහු වෙනවා. බඩගිනි දැනුණොත් බෙදාගෙන කන්න. අපේ ළමයි දෙන්න ගෙදර එන්නේ හතරට විතර. එයාල යන්නේ ටවුමේ ඉස්කෝලෙට."
"හොඳයි දුව . . . දැන් දුව යන්න. අපි හවහට කතා කරමුකෝ."
සිරිමාන්න හවස් යාමයේ මිදුලේ යෝධ සියඹලා ගස් සෙවණේ තනා තිබූ බංකුවේ වාඩිවී පාරේ යන එන ගැමියන් දෙස බලා සිටියේය.
"තාත්තා බර කල්පනාවක වගෙයි."
ලොකු පුතා බංකුවේ කොනක වාඩි වෙමින් පැවසුවේය.
"තාත්තා හදිසියේම ආවේ මොනවා හරි ප්‍රශ්නයක් නිසාද?"
සිරිමාන්න බෙහෙවින් කලබල විය.
"නෑ . . . නෑ . . . . එහෙම දෙයක් නෑ."
ඔහු තරමක වේලාවක් නිහඬව සිට පුතුගේ මුහුණ බැලුවේය.
"ලොකු පුතේ . . . . ටික දොහකට උඩදි මම ඔයාගේ අම්මව හීනෙන් දැක්කා. . ."
ලොකු පුතා තාත්තාගේ මුහුණ දෙසම දෙනෙත් විශාල කරගෙන බලා සිටියේය.
"අම්මව මතක් වෙන මතක් වෙන වෙලාවට මගේ හිත වාවන්නේ නෑ. පව් . . . එයා හරි අහිංසක කෙනෙක් . . . ලොකු පුතේ . . . මට ඉස් ඉස්සෙල්ලාම පත්වීම ලැබුණේ බණ්ඩාරවෙලට. ඒක වුණේ අවුරුදු පනස් දෙකකට කළින්. කන්තෝරුවේ කෙනෙක් තමයි මට ඉන්න තැනක් ලෑස්ති කරලා දුන්නේ.
ටවුමෙ ඉඳලා හැතැප්ම දෙක තුනක් ඈත අමුණුදෝව කියන ගමේ ගෙදරක. ඒ පවුලෙ අයියා කෙනෙකුයි නංගියි හිටියා. ගෙදර ඔක්කොම වැඩපළ කළේ නංගි. මොකද එයාලගේ අම්මා අසනීපෙන් හිටියේ. ඉස්කෝලේ ගිහින් තිබුණේ අටට විතරයි. නංගි මගේ කෑම බීම වෙලාවට හදලා දුන්නෙ හරියට මගේ සර්වන්ට් වගේ. එයා ළඟ වුවමනාවටත් වඩා මනුස්ස ගතිගුණ තිබුණා. වැඩි කාලයක් ගියේ නෑ එයාලගේ වැඩිහිටියෝ කතාබහ කරලා එයාගෙයි මගෙයි කසාදෙ කළා. ඒ ගෙදරදී තමයි ඔයා උපන්නේ. මම දවස තිස්සෙම කන්තෝරුවේ හිරවෙලා හිටපු නිසා ඔයාගේ වැඩපළ ඔක්කොම එයා තනියම වගේ කළේ හරි ආසාවෙන්. හරි ඕනෑකමින්. අවුරුදු හතරකට පස්සේ මට මාරුවීමක් හම්බ වුණා මිනුවන්ගොඩට. එහිදී මම නගරෙන් ඈතට වෙන්න ඉඩමක් අරගෙන එක කාමරයකුයි කුස්සි පොඩ්ඩකුයි හදාගත්තා. තවත් කාලයක් යනකොට ඔයාගේ මල්ලියි, නංගියි අපේ පවුලට එකතු වුණා. ඒ ගේ සම්පූර්ණ කරගන්න මට අවුරුදු හත අටක්ම ගියා. ඒ කාලේ සිද්ධියක් තමයි මම හීනෙන් දැක්කේ . . . . ලොකු පුතේ . . . අම්මා නැති වෙලා දැන් අවුරුදු ගාණක් ඉවරයි. මට හරි ආසයි අම්මා වෙනුවෙන් බණක් කියලා හාමුදුරුවරු දෙතුන් නමක් වඩම්මලා දානයක් දෙන්න."
"හැබෑටම තාත්තේ ඒක හරි වටින වැඩක්. ඒ විතරක් නෙවෙයි කෙරෙන්නම ඕනේ කටයුත්තක්. මට පුළුවන් හෙට අනිද්දාම මෙහෙ ඒ වගේ පින්කමක් කරන්න. මම ලෑස්ති කරන්නම්."
සුළුවෙන් ලක ලෑස්ති කළ පින්කම මහා පරිමාණයෙන් නිමාවට පත්වීම ගැන සිරිමාන්නගේ සිතට පවන් රැල්ලක් වැදුණාක් මෙන් දැනුණේය. පින්කම හමාර වූ දිනයේ සවස සියඹලා ගස් සෙවණේ බංකුවේ වාඩිවී කල්පනාවේ නිමග්නව සිටි ඔහු අසලට ලොකු පුතා සේන්දු විය.
"තාත්තේ . . . තාත්තගේ හිතේ හැටියට පින්කම කෙරුණා නේද?"
"ඔව් ලොකු පුතේ. . . මගේ හිතට හරි සතුටක් වගේම සැහැල්ලුවක් දැන් දැනෙනවා."
"තාත්තේ . . . මට හොඳටම දැනෙනවා තාත්තාගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. තාත්තා කැමති නැද්ද මට ඒ ගැන කියන්න."
සිරිමාන්න ක්ෂණිකව කිසිවක් කීවේ නැතත් ලොකු පුතාට ඉවෙන් මෙන් තාත්තාගේ කිසියම් විපර්යාසයක් ඇති බව දැනුණේය.
"ලොකු පුතේ . . . දැන් කාලෙක ඉඳලා මගේ හිත හරිම චංචලයි. මට දැන් පොඩි පුතාගෙන් එක එක විදිහේ ප්‍රශ්න එනවා. ඒවා අද නතර වෙයි හෙට නතර වෙයි කියලා හිතුවත් එහෙම වෙන්නේ නෑ. එයාට හපන් ඔයාගේ නංගි. ඔක්කොටම ඉහළයි පොඩි පුතාගේ නෝනා. අපේ ගේ හන්දා අද හෙට මිනියක් නොමැරුණොත් තමයි පුදුමේ. පොඩි පුතාට ගේ ලියල දෙන්න කියලා මට විඩෙන් විඩේ කියනවා. ඒ අතරේ ඔයාගේ නංගි කියනවා එයාටත් ඉඩමෙන් භාගයක් ඕනේ කියලා. නිතරම වගේ අයියයි, නංගියි ගහ මරා ගන්නමයි හදන්නේ. පොඩි පුතා කියන්නේ ගෑනුන්ට දේපොළ ලියන්නෙ නෑ. පවුලේ බාල පිරිමි පුතාට විතරයි ඒවා අයිති වෙන්නේ කියලා. මම කිවුවම එහෙම නීතියක් නෑ කියලා එයාට හරියට කේන්ති ගියා. එදා එයා වැඩිපුර බීලයි හිටියේ. එකපාරටම මාව තල්ලු කරලා දැම්මම මම වීසි වෙලා ගිහින් මේසෙ කොනේ ඔළුව වැදිලා තුවාල වුණා. මැහුම් කීපයක්ම දැම්මා. එයා කියන්නෙ ඉඩමේ තනි අයිතිය එයාට ඕනේ කියලයි. ඒ අස්සේ රෑට මට නින්ද යන්නේ නෑ. එළිවෙනකම් වගේ මම ඇහැරිලා ඉන්නේ.
පාන්දර ජාමේ තමයි මට ටිකක් හරි නින්ද යන්නේ. රෑජාමේ මම ගේ ඇතුළේ එහෙ මෙහේ ඇවිදිනවා කියලා මට හරියට දොස් කියනවා එයාලගෙ නින්ද කැඩෙනවා කියලා. පොඩි පුතාගේ නෝනා මට නම දාලා තියෙන්නේ හොල්මන කියලා.
එයා මට හරියට වෙනස්කම් කරනවා. ඒ හැම දෙයක්ම ඉවසගෙන ඉන්නේ හරි අපහසුවෙන්. බැරිම තැන මම වත්ත පල්ලෙහා පොඩි මඩුවක් හදාගත්තා. දැන් ඉන්නෙ ඒකෙ. . . ලොකු පුතේ . . . . මට හය හතර තේරෙන කාලෙ ඉඳලා මම ගත කළේ හරිම කටුක ජීවිතයක්. මම ඉස්කෝලේ යන කාලේ සත දොළහේ කොපි පොතක් අරන් දෙන්න කෙනෙක් හිටියේ නෑ. අපේ අම්ම තේ වත්තේ දලු කඩලා ගන්න පඩියෙන් අපි දෙන්නා ජීවත් වුණේ හරි අමාරුවෙන් නිසා අච්චු පොත් මා ළඟ තිබුණේ නෑ. මම කොහොමින් කොහොමහරි විභාගෙ හොඳට පාස් කර ගත්තා. ඒ එක්කම පෝස්ට් මාස්ටර් විභාගෙත් ගැසට් කරලා තිබුණු නිසා මම උනන්දුවෙන් විභාගය ලියලා පාස් වුණා. අපේ තාත්තා මැරිලා තිබුණෙ මට නොතේරෙන කාෙල්. අපේ අම්මා නැති වුයේ මම රස්සාවට ආපු අලුත . . . . ලොකු පුතේ මගේ ජීවිතය මම ගොඩ නඟා ගත්තේ හරිම අමාරුවෙන්. ඒ නිසා මට ගොඩක් ප්‍රශ්න දරාගන්න පුළුවන් වුණා."