වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
දහඅටයි කියන්නේ ලොකුයි ද?
මේ ඉන්න පොඩි එකී අනික් පැත්ත හැරිලා බලනකොට ලොකු වෙලා. කාටත් වඩා හදිසියක් තමයි කාලයට තියෙන්නේ. එක එක වයස් සීමා පහුකරගෙන ලොකු වෙනකොට ජීවිතවලට එන ප්‍රශ්නත් පොඩි නැහැ. ඒවත් ඒ විදිහටම ලොකු වෙනවා. ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ. ඒ දේවල් හැබැයි සමාන නෑ. ඉතින් ගෑනු ළමයින්ට වෙන වෙන දේවල් පිරිමි ළමයින්ට තවත් දේවල්.
අවුරුදු 18 කියන්නෙ නාඹර තරුණ කාලේ. ඔය කාලෙට තමයි ඉලන්දාරි වයස කියන්නේ. ඉලන්දාරි වයස, නාඹර තරුණ කාලේ කියලා එන ප්‍රශ්න අඩු වෙනවද..? නෑ දෙයියනේ. මේ කාලෙ තමයි ප්‍රශ්න වැඩියෙන්ම එන කාලේ. ඉතින් 18යි කියන්නේ ඔයා දැන් හෙන ලොකුයි.. ඔයා දැන් හෙන පොරක් කියන එකනම් නෙවෙයි. මොකද අවුරුදු 18 ලැබුවා කියන්නේ නිදහසේ බලපත්‍රය ලැබුණා කියලා හිතන ජාතියකුත් ඉන්නවානෙ. අවුරුදු 18 කියන්නේ ඔයා අත්දැකීම් නැති වැඩිහිටියෙක්. ඉතින් දැන් ලොකු මනුස්සයෙක් කියලා හිතන් ඉන්නවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්.
තමයි ජීවිතේ ෆවුන්ඩේෂන් කෑල්ල දාගන්න කාලේ. මොකද අවුරුදු 18දී ඔයා කරන දේවල් තමයි ගොඩක් වෙලාවට ඔයා අනාගතයේදී ඉන්නේ කොතනද කියලා තීරණය වෙන්නේ. අවුරුදු 18 ලැබුවා කියන්නේ ජීවිතයෙන් 1/4ක්ම ගෙවිලා ඉවරයි. මේ කියන්න යන්නේ මැරෙන්න ළං වෙනවා කියන එක නෙවෙයි. සතුටින් මැරෙන්න නම් මේ කාලේ හරි ෆවුන්ඩේෂම දාගත්තොත් මුළු ලයිෆ් එකම ෆුල් හැපනින්..
ඉතින් ජීවිතයට ලයිෆ් ගෝල් එකතුකර ගන්න. ඉදිරි වසර දෙක ඇතුළත සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනගා ගන්නවා කියන එක ලයිෆ් ගෝල් එකක්. මාස්ටර්ස් ඩිග්‍රිය ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කරනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. ඉදිරි වසර දෙක තුළ පොතක් ලියනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. ජීවිතයට ඒ වගේ ලයිෆ් ගෝල් එකතුකර ගන්න.
මේ ගත වෙන්නේ ඔයා උසස් අධ්‍යාපනය ලබන කාලය. ඔය කාලෙදි එන මූලිකම ප්‍රශ්නය තමයි උසස් පෙළෙන් පස්සෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලා. ඒකෙදි උසස් අධ්‍යාපනය කියන කාරණය උඩට එනවා. උසස් අධ්‍යාපනයක් හදාරන්න ඕන කියලා හිතද්දී මොන විෂය ක්ෂේත්‍රයද තමන්ට වඩා ගැළපෙන්නෙ කියන කාරණය හිතන්නම වෙනවා.
ඊළඟ ප්‍රශ්නෙ සල්ලි. ඒකත් එක්ක එන ලොකුම ප්‍රශ්නය මම යැපෙන්නෙ කාගෙන්ද කියන එක. අවුරුදු 18 වගේ වෙනකොට ඔළුවට එනව අදහසක් ගෙදරින් යැපුණා ඇති කියලා. හැබැයි හරි වෘත්තිමය සිහිනයක් තිබ්බොත් සල්ලි කියන දේවල් හරිම සිම්පල් වෙයි.
ලෝකය මනුස්ස හිතකට වඩා වේගයෙන් වෙනස් වෙනවා. රස්සා දියව් කියලා මහ ඈයෝ පාරේ යනකොට පොඩි දුවලා පුතලා වෘත්තීයමය වශයෙන් ඉහළටම ගිහිල්ලා. එහෙම වෙන්නේ මෙහෙම සිහිනයක් තිබ්බාම. කෙල්ලෙක් වුණාම තියෙන්නෙ ඕනි එකම සිහිනය නැන්දම්මාව සතුටු කිරීම, මනාලියක් වීම කියන සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිලා වැඩ ලොවේ දී පිරිමි අයත් එක්ක කරට කර සටන් කරන සිහිනයක් තියෙන්න ම ඕනි. කොහොමත් දැන් ගොඩක් ලොකු කොම්පැණිවල වුණත් පුටු රන් කරන්නේ කාන්තා පාර්ශ්වය. ඒ බොහොමයක් අවුරුදු විසි ගණන්වල කෙල්ලෝ.
මේ කාලේ අපි හැම තිස්සෙම අහන දෙයක් තමයි වර්ක් හාඩ්වලට වඩා වර්ක් ස්මාට් කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. ඒක ඇත්තටම බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උපරිම මහන්සියකින් වැඩ කරලා, වර්ක්-ලයිෆ් බැලන්ස් එක තියාගෙන ඉන්න හිතනවා නම්, ස්මාට් විදියට වැඩ කරන එක ඉගෙන ගන්න ඕන. අවුරුදු 18 පසුවන ඔයත් ස්මාට් විදිහට හිතලා බලන්න. අවුරුදු 18 කියන්නේ මහලොකු වයසක් නෙවෙයි. ඒ නිසා මොලෙන් හිතලා තීරණ ගන්න.