ක්‍රිකට් විශිෂ්ටයන් අතරට ගිය අපේ චමරි

පෙබරවාරි 10, 2025

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් 2024 වසරේ විශිෂ්ට ක්‍රීඩිකාවන් එකොළොස්දෙනකු නම් කරන ලදී. එම වසරේ දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙලෙස නම් කළ එකොළොස්දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද ඇතුළත්ව සිටී.

 

චමරි අතපත්තු වසරේ දක්ෂතම ක්‍රිඩිකාවක් ලෙස තෝරා ගැනීමට හේතුව වූයේ වසර පුරා පැවති තරග තුළ ඇය දැක්වූ පිති හරඹය හා පන්දු යැවීමයි. එසේම ජූලි මාසයේ පැවති ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකාව ලෙසින් ජයග්‍රාහී කුසලානය හිමිකර ගැනීමට කළ මෙහෙවරද හේතු විය.

 

ගෙවී ගිය වසරේදී ඇය තරග විසිඑකක් තුළ ලකුණු 721ක් රැස්කළ අතර වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 109ක් වාර්තා කළාය. මෙම ලකුණු 721ක ප්‍රමාණයට ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් ඇතුළත්ය.

මෙලෙසින් ලකුණු රැස්කළ ඇයගේ පළමු ශතකය වාර්තා කළේ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. එහිදී ඇය පන්දු 63කින් ලකුණු 102ක් රැස් කරන ලදී. ඉන්පසුව කාන්තා ආසියානු කුසලානයේදී මැලේසියාවට එරෙහිව පන්දු 09කින් ලකුණු 119ක් ලබා ගත්තාය.

 

මෙම විශිෂ්ට ඉනිමෙන් පසුව 2024 කාන්තා ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 61ක් ලබා ගනිමින් ඇය අපේ රටට ආසියානු කුසලාන කිරුළ හිමිකර ගැනීමට විශාල දායකත්වයක් දැක්වූවාය. අවුරුදු 34ක් වන ඇය තම ක්‍රීඩා දිවියේ හොඳම වසර ලෙස සටහන් කරමින් T20 තරගාවලියේදී 16.80ක සාමාන්‍යයක් සහ 6.36 වේගයක් රඳවා ගනිමින් කඩුලු 21ක් ලබා ගැනීමට සමත් විය. ඇයගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය වූයේ හම්බන්තොට දී පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය. එහිදී ඇය ලකුණු 29කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය.

 

මෙලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරාගත් තරගකාරියන් අතරට දකුණු අප්‍රිකාවේ ලෝරා වෝල්ට් , ඉන්දීය කණ්ඩායමේ නායිකා ස්මිරිතා මන්දරා, බටහිර කොදෙව් කණ්ඩායමේ නායිකා හේලි මැතිව්ස්, එංගලන්තයේ නැට් ස්කිටර් බුන්ට් නවසීලන්තයේ මෙලිකර්, ඉන්දියාවේ කඩුලු රකින්නියක වූ රීචා ගෝෂ් ද වෙයි.

 

 

[email protected]