වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
වන මැද බමුණු ඇල්ලේ විඳිමු සිරි සිහිලැල්ලේ

කොළඔ සිට ගමන් අරඹන්නෙකුට කොට්ටාවේ අධිවේගී පිවිසුමෙන් වැලිපැන්න පිවිසුම තෙක් මඟ හුරුපුරුදු සාමාන්‍ය සිරි ගත්තද ඉන් පිටව මීගහතැන්න හරහා නෙළුවට පිවිසෙන මාර්ගය අතිසුන්දර සුලලිත වූ එකකි.මේ ගමන අතරමඟ මඳ විවේකයක් ගන්නා ඔබට ගැමි රසින් පිරුණු වසවිසෙන් මිදුණු ඇම්බුන් කෙසෙල් ගෙඩියක රස බැලීමට අවස්ථාව ලැබෙනු ඇත.එය විඳගැනීම ගමනට තවත් ජීවයක් එක්කරලනුම ඇත.
පැලවත්ත,මීගහතැන්න ප්‍රදේශවලට ආවේණික රසින් පිරුණු ඉදුණු ඇම්බුමක රස බලා නෙළුව බලා පිටත්විය යුත්තේ අපේ ගමනාන්තයට ළඟා වී දිය ඇලි ළලනාවන්ගේ පිරුණු රූ සපුව දැක විඳ ගනු සඳහාය.අමිල සංචාරයක සොබා සිරිය විඳගනු පිණිස අපට අවසර ලැබෙන්නේ මේ නිහඬ නිසසල වනපෙත තුළදීය.එම වන පෙත ශ්‍රී ලංකාව නම් රන් භූමියෙහි වටිනාකම ලෝකය පුරා රැන්දවූ සිංහරාජ මහා වන උයනයි.
හෙක්ටයාර 11250 ක තම අණසක පතුරුවන සිංහරාජ ජාතික වන උයන ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ද වේ.අප ගමන් කරනු ලබන සංචාරක මඟ වැටී ඇත්තේ ඒ තරමටම වටිනා ලෝක උරුම බිමක් හරහා බැවින් මේ සංචාරයේදී අපි පරිසරය පිළිබඳ අධි සංවේදී වීම ඉතා වැදගත් වේ.
සිංහරාජ වන උයනේ සිරි විඳිනු පිණිස පිවිසුම් මාර්ග කිහිපයකි.මේ සුන්දර දුලබ දියඇලි ළලනාවන් හමුවීමට අප ඇතුළත් විය යුත්තේ ලංකාගම පිවිසුමෙනි.
නෙළුව ලංකාගම පිවිසුම සංචාරක සැමට නව අත්දැකීම් එක් කරන්නකි.දුෂ්කර සුන්දර කඳුකර මාවතක් ඔස්සේ දිවෙන දිගු පටු මාර්ගයේ ගමන් කළ හැකි වාහනයක සහාය ලබා ගැනීම පිළිබඳද මෙහිදී අවධානය යොමු කළ යුතුවේ.
ලංකාගම පිවිසුමෙන් සිංහරාජ වනපෙතට ඇතුළුවන සංචාරක අපට තමාට ගත කළ හැකි කාලය සහ වැය කළ හැකි ශක්තිය අනුව තෝරාගත හැකි මංපෙත් කිහිපයකි. මේ මංපෙත් අතරින් ඉතාමත් පහසු වන මඟක කෙටි ගමනාන්තයකින් හමුවන දිය ඇලි මනාලිය බ්‍රාහ්මණ ඇලි කොමලියයි.ප්‍රධාන පිවිසුමේ සිට මීටර දෙසීයකට නොඅඩු දුරකින් විරාජමානව වැජඹී අප නෙත් වශී කරවන ඈ දැකුමට දෑසක් පින් කළ යුතුවම තිබේ.
විවිධ හැඩ මවමින් පරිසරයම හරිත පලසක් බවට පත්කරවන මීවන විශේෂයන් ගෙන් සැදුම්ලත් බිම් ස්තරයත් බෙරලිය ,ඇටඹ,කීන,වල්බඩ වැනි දුලබ ශාකයන්ගෙන් සැදුම්ලත් වියන් ස්තරයත් මැදින් අප කුඩා පෙත් මඟ දිගේ බ්‍රාහ්මණ ඇලි මනාලිය සොයා ගමන් ඇරඹිය යුතුවේ.මේ වන පලස අතර ඉඳහිට මුණගැසෙන කිතුල් මදින්නකුගේ තෙලිදිය මුට්ටියකින් වහනය වන ඉමිහිරි සුවඳ වන මල් සුවඳ සමඟ එක්ව තනන සුව සුවඳ විඳගැනීමට ද මේ ගමනේදී ඔබට දුලබ වරමක් හිමිවේ.
මෙම ගමනේදී ඔබගේ දරුවනට පරිසරයේ චමත්කාරය සහ විවිධත්වය පිළිබඳ කදිම අවබෝධයක් ලබා දිය හැකි අතර දුලබ තුරුලතා පෙන්වාදෙමින් ඒ ගැන බොහෝ දේද කියාදිය හැකිය. පරිසරයට ආදරය කරන දරුවකු නිර්මාණය කිරීමට මෙවැනි සංචාර මං ඔබට මඟ සලසනු ඇත.
කුඩා පෙත්මඟ එක්වර කුඩා කඳුකර මාවතකට වැටේ.එතැන්දී අපට බ්‍රාහ්මණ ඇලි මනාලියගේ සිරි විසිතුරු රිසි ලෙස විඳගැනීමේ වරම හිමිවේ.
නොඉඳුල් සිංහරාජ වන උයනෙන් ජන්මය ලබන හැරියාව දොළ එක්වරම සිනිඳු සේලයක්වන්ව වැතිරෙමින් බ්‍රාහ්මණ ඇල්ල නිර්මාණය කරයි.මුහුදු මට්ටමේ සිට මීටර දෙසීය තිස් හතක උසින් පිහිටන හැරියාව දොළ මීටර තිස් එකකින් බිමට පැන බ්‍රාහ්මණ ඇල්ල නිමවයි.
බ්‍රාහ්මණ ඇල්ලේ කෝමල රේඛාවන් විඳිමින් සිටින අපට දැන් මේ නම ඇයට ලැබුණු හැටි අසන්නට වේලාව ළංවේ. සුව පහසු නැරඹුම් පීඨිකාවෙන් ගල් විසිරුණු මඟ ඔස්සේ පහළට බසින අපි ඒ නොකිලිටි ගල් තලාවේ ඈඳි ගතිමු.
අපේ ගමනේ මඟ පෙන්වන්නා චතුරංග මේ සුන්දර වනපෙත පිළිබඳ නොඇසුණු කතා ගොන්නකින් අපේ කන පිනවද්දී සී සී හඬින් ගී ගයන බ්‍රාහ්මණ ඇලි මනාලිය අපේ නෙත වශීකෘත කරවමින් සිටී.
ඔය බ්‍රාහ්මණ ඇල්ල ළඟ උන්නලු ඉස්සර රන් කෙන්ඩියක් අතින් ගත්ත බ්‍රාහ්මණයෙක්. දවසක් ගැමියෙක් මෙතනින් කැලේට යනකොට දැක්කලු මේ බ්‍රාහ්මණයා පය ලිස්සල ඇල්ලෙන් බිමට වැටෙනවා. මේ ගැමියා බ්‍රාහ්මණයා බේරගන්න කොච්චර උත්සාහ කළත් ඒක කරගන්න බැරිවුණාලු.කොහොමහරි මේ අතරෙදි රන් කෙන්ඩිය හම්බුණාලු ඒ රන් කෙන්ඩිය ඔරු ඇල්ලේ හැංගුව කියල තමා ජනප්‍රවාදයේ එන්නෙ.ඔරු ඇල්ලත් හරිම අද්භූත තැනක්.
ඔරු ඇල්ල බැලීමට දැන් ඔබට සිත් යනු ඇත. එය මඳක් පසෙක තබා අප බ්‍රාහ්මණ ඇල්ලේ සුන්දර මනලෝල සිනා විඳිය යුතුමය.
චතුරංග අපට ජනප්‍රවාදයේ එන රස කතාව කියා දමන්නේ නොකිලිටි ජල පහරෙන් දිය දෝතත් බොන අතරතුරමය.
එතරමට පවිත්‍ර මේ දිය තටාගයේ ගිලී නාන්නට සිත්වුවද අපට මේ ඒ සඳහා වෙලාව නොවේ.පියවරෙන් පියවර අප පෙත් මඟ ඔස්සේ තවත් බොහෝ දුර යා යුතුව තිබේ.
මල් පියලිවලින් හැඩවූ හැරියාව දොළ බ්‍රාහ්මණ ඇල්ල මවා කිසිවක් නොවූලෙස නැවත තම ලැසි ගමන අරඹයි.ඇයටද මේ ගමන විඩාවක් නැති ගානය. විනිවිද පෙනෙන හැරියාව දොළ සිසිල ලබන ඔබට නොමිලේම ගල් පාඬීන්ගේ සම්බාහනයක් ලබා ගැනීමේ විරල වරමද හිමිවේ.
බ්‍රාහ්මණ ඇල්ල නිදහස් මදහස් පාමිනි.
පවුලේ සැම සමඟ සුන්දර වනබර ගමනයට මේ හරිත මාවත කදිම තෝරා ගැනීමකි.මෙහිදී ඔබ මේ ගමන කලින් සැලසුම් කළ යුතුමය. එසේ වුවහොත් ඔබට මේ වන මාවතේ දිය ඇලි කිහිපයක සිරි නැරඹිය හැකිය.