අම්මලාගේ පරම සතුට

පෙබරවාරි 17, 2025

 

හරි ඉක්මනින් කාලය ගෙවිල ගිහින්. ඔයා කැම්පස් යන්න පටන් ගත්තා කියලා අම්මා ලියලා එවල තිබුණා. මට හරි ම සතුටුයි. මොකක් ද ලැබුණු හෝල් එක.? නාදන් ද හිල්ඩා ද? අපේ කාලෙ නම් හිල්ඩා හිටියෙ පිරිමි ළමයි. හැම සති අන්තෙම ගෙදර එන්න හිතන්න එපා නංගි.

 

ඔයා දැන් ගෙදරින් ඈත් වෙලා තනියම ඔයාගේ වැඩ ටික කරගන්න පුරුදු වෙන්න ඕන. වැදගත් ම දේ ඔයාගේ අරමුණට යන්න මහන්සි වෙන එක. ඇත්තට ම මොකක් ද ඔයාගෙ අරමුණ. අපේ සමාජෙ ගොඩක් ගෑනු ළමයි එක වයසකදි දකින චිත්තාකර්ෂණීය සිහිනයක් තමයි උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබීම. මට මතකයි ඔයා මාත් එක්ක දවසක් කිව්වා, " අම්මා අපි හින්ද විඳින දුක් දැක්ක ම, කවදාවත් කසාද බඳින්න හිතෙන්නෑ" කියලා. ඒක ඇත්ත, ඒ වුණත් මං ඒ කතාව එතනින් නැවැත්තුවේ ඒ ගැන කොයියම්ම හෝ වෙලාවක ඔයත් එක්ක දිගට කතා කරනවා කියලා හිතාගෙන.

අම්මා ගෙදර අමාරුකම් ටික අමාරුවෙන් දරාගන්න කොට, මං හිතන්නෙ ඔයා එතකොට දහයයෙ ද කොහෙද.., ඔයා දවසක් මා එක්ක කිව්වෙ"මං නං අයියෙ පුළුවන් වෙච්ච ගමන් මොකක් හරි රස්සාවක් හොයාගන්නවා.. නාලනී නැන්දගෙන් අහල එතන බෑග් මහන්න හරි යනවා" කියලා. මං ඒ වෙලාවෙමයි හිතුවෙ මගෙ වැඩ ටිකට මොනවා වුණත් ඔයාට නවතින්න දෙන්නෙ නෑ කියලා..ඇත්තට ම ඒ හැම එකක් ම හැඟීම්බර කතා වුණත්, අපේ සමාජෙ ගොඩ දෙනෙක් එහෙම හැඟීම්වලට මුහුණ දීල තියෙනවා. ඒ වගේ සමහර කතා හරි ම රොමෑන්ටික් විදිහට ලියවිලත් තියෙනවා.. අම්මායි තාත්තායි දෙන්න ම දෛවෝපගතව අහිමි වුණාට පස්සෙ අයියා නංගිව දිවිහිමියෙන් බලාගන්නවා.. ඊට පස්සෙ නංගි හොඳට ඉගෙනගෙන කැම්පසුත් ගිහින් සමාජෙ පිළිගන්න ලොකු, වැදගත් රස්සාවක් කරනවා.. කොළඹ ලොකු ගෙයක් දොරක් හදාගෙන පදිංචි වෙලා එහෙම ඉන්න කාලෙක නංගිට ම දර දිය ඇදලා දුප්පතා වුණු අයියා ලෙඩ වෙලා දොස්තර කෙනෙක් චැනල් කර ගන්න නංගී ළඟට එනවා.. නංගී පුදුම සෙනෙහසකින් අයියාව බලාගන්නවා.

අපිට එහෙම කතාවක් ලියන්න සිද්ධ නොවුණෙ අපේ අම්මගෙ හයිය නිසා. සමහරු කියනවා මිනිහ මළහම ගෑනියෙක්ගෙ හිතට පුදුම තරම් ධෛර්යයක් එනවා කියලා. ඒක හරියට ගෑනියෙක් අස්සෙ හැංගිලා හිටපු පිරිමියෙක් එළියට එනවා වගේ දෙයක්.

ලොතරැයි කූඩුවෙ ම ලොතරැයි එකපාර ඇදිලා සල්ලි ලොරියක් ගෙදර අරන් ගියත් අපේ අම්මා ඒකෙන් සතුටු වෙන්නෙ නෑ. ඒ වගේ ම තමයි අපි උපාධි පිට උපාධි අරගෙන ලොකු වියතෙක් කියල සමාජෙන් නැඟෙන යශෝරාවය හොරණෑවක් වගේ කන ළඟ ම පිම්බත් අම්මාගේ කනකටවත් ඇහෙන්නෙ නෑ.. අම්මා ආස කළා අම්මවත් දන්නැති මහ පුදුම සන්තෝසෙකින් අපි ජීවත් වෙනවා බලල සතුටු වෙන්න. ඉතින් මං ඒ අම්මවත් දන්නැති මහ විස්මිත සතුට මොකක් ද කියල හිතන්න පටන් ගත්තා. හිතල විතරක් මදි මට ඒක කියන්නත් ඕන. මං ඒක කියන්න ම ඕන කෙනා ඔයා. ඔයා පුංචි කාලේ ඉඳල ම අපිටත් වඩා දුක් විඳින්න සිද්ධ වුණු දරුවෙක්' කියලා අම්මා කියලා තියෙනවා. ඉතින් ඔයා ඒ විස්මිත සතුටින් ඉන්නවා දකින්න අම්මා කොයිතරම් කැමති වෙයි ද? ඒ විස්මිත සතුට තියෙන්නෙ අපි ළඟමයි. අපි ඒක වෙන තැනකින් හොයන්න ගත්තොත් අපිට කවදාවත් ම හොයාගන්න ලැබෙන්නෑ.