වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
යන්නම් පුතේ...

සිරිමාන්න තරමක විරාමයක් ගෙන නැවත කතා කළේය.
"ලොකු පුතේ, මේ කතාව මම මේ වෙනකම් කාටවත් කියලා නෑ. ඒක ප්‍රථම වතාවටයි, අන්තිම වතාවටයි අද ඔයාට කියනවා. ඔයත් ඒක එක කනකින් අහලා අනිත් කනින් පිටට දාන්න ඕනේ. . . පොඩි පුතා මාව තල්ලු කරපු දවසේ ඔයාගේ අම්මා කිව්වා මහත්තයෝ, අපි මේ ගේයි, ඉඩමයි ළමයි දෙන්නට දීලා දාලා වැඩිහිටි නිවාසෙකටවත් යමු කියලා.
එදා රෑ තමයි අම්මට පපුවේ අමාරුව හැදිලා නැති වුණේ. පොඩි පුතයි, පොඩි දුවයි දෙන්නම ඔයාගෙන් විඩෙන්විඩේ සල්ලි ඉල්ලගෙන ආපහු දුන්නේ නැති එකත් මම දන්නවා. ඒ නිසාම ඔයාලා අතරේ සම්බන්ධකම් නැවතුණු බවත් මම දන්නවා. තව දෙයක් . . . නංගි යාළුවෙලා ඉන්නෙ ගාමන්ට් එකේම කොල්ලෙක් එක්ක. ඌ ලෝක හොරෙක්. ගාමන්ට් එකේ බඩු වගයක් හොරකම් කරලා, දැන් එයා ඉන්නේ රිමාන්ඩ් එකේ. මගේ යාළුවෝ කීප දෙනෙක්ගෙම ළමයි ආණ්ඩුවේ ඉහළ පෙළේ රස්සාවල් කරනවා. තවත් කීප දෙනෙකුගේම ළමයි පිටරටවල ඉහළ රස්සාවල් කරනවා. මගේ පොඩි පුතා වරායේ මුට්ට කරගහන බව මගේ යාළුවෝ දන්නේ නෑ. මගේ එකම දුව ගාමන්ට් එකක රෙදි මහන බව මගේ යාළුවෝ දන්නේ නෑ. මට තියෙන එකම සැනසීම මගේ ලොකු පුතා ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් වුණු එකයි."
තවත් තරමක වේලාවක් සිරිමාන්න දෑතින් මුහුණ වසාගෙන සිට නැවත කතා කළේය.
"ලොකු පුතේ . . . මම දවසට එක වේලයි උයාගෙන කන්නේ. මගේ හිතේ අසහනය නැතිවෙන්න මම පෙන්ෂන් එක ගත්ත දවසට බීම බෝතලයක් අරගෙන යන සිරිතක් තිබුණා. මුළු මාසෙටම එක බෝතලයයි මම පාවිච්චි කළේ. ඒකයි, කෑම ඉවිල්ලයි දෙකම දැන් මාස තුනක් තිස්සේ මට කරගන්න විදිහක් නෑ. පොඩි පුතාගේ නෝනා අර බීම බෝතලේ ගැන ප්‍රසිද්ධ කරපු දා ඉඳලා පොඩි පුතා මගේ බැංකු කාඩ් එක උදුරගෙන එයා මගේ පෙන්ෂන් සල්ලි ඔක්කොම ගන්නවා. එයා කියන්නේ එහෙම කළේ මගේ වැරදි වැඩ නතර කරන්න ඕෙන නිසා කියලයි. . . ."
ඉන් එහාට ගොළු වූ සිරිමාන්න මුහුණ වසාගෙන සිහින් හඬින් වැළපෙන්නට විය.
දිග සුසුමක් පිට කළ ලොකු පුතා
"තාත්තේ . . . අද ඉඳලා තාත්තා මගේ ළඟ ඉන්න ඕනේ. ඒ ගෙදරට තවත් අඩිය තියන්න මම ඉඩ දෙන්නේ නෑ. පොඩි මල්ලි ළඟ තියෙන බැංකු කාඩ් එක අවලංගු කරන්න කියලා මම හෙට උදේ මැනේජර් නෝනට ෆෝන් කරලා කියන්නම්. ග්‍රාම සේවක නෝනාට කියලා අපි තාත්තගේ පදිංචිය වෙනස් කරගනිමු."
"එතකොට ලොකු පුතේ ඉඩමයි ගේයි?"
"ගේ තියෙන කොටස අපි පොඩි මල්ලිට ලියලා දීලා, නංගිට ඉඩමෙන් කොටසක් දෙමු"
"ඒකට මල්ලි විරුද්ධයි. එයා කියන්නේ තනි අයිතිය එයාට ඕනේ කියලනේ. ඒ හින්දා ඉඩම බේරුමක් කරලා දෙන්න විදිහක් නෑ."
"ඒකත් එහෙමද? . . . ඔන්න ඔහේ ඕනෙ දෙයක් එයාලට කරගන්න ඇරලා තාත්තා මං ළඟට එන්න."
"ඒ ඇරෙන්න වෙන විකල්පයක් නෑ තමා. ලොකු පුතේ කෝකටත් මම බැංකුවේ වැඩේටයි, පදිංචිය වෙනස් කරන වැඩේටයි හෙට යන්නම්. මොකද පැන්ෂන් දිනේ අනිද්දා නිසා"
"ඔය වැඩ දෙකම මෙහෙ ඉඳන් කරගන්න පුළුවන්. තාත්තා යන්නම ඕනේ නෑ."
"නෑ ලොකු පුතේ. මම යාළුවෙක්ගෙන් ණයක් අරගෙන තියෙනවා. ඒකත් දීලා අර වැඩ දෙකත් කරගෙනම එන්නම්."
පසුදා උදෙන්ම සිරිමාන්න ගුරු නිවෙසින් මිදුලට බැස්සේය. කඩුල්ල දක්වා ඇවිද ගිය ඔහු නැවත හැරී ලොකු පුතා වෙත ආවේය.
"ඇයි තාත්තේ?"
"ලොකු පුතේ, එදා මම මේ ගෙදරට අඩිය තිබ්බේ හිතේ ලොකු බරක් තියාගෙන. අම්මා වෙනුවෙන් කරපු පින්කම මට මහ මෙරක් වගේ. අද මම යන්නේ හිතේ හරි සැහැල්ලුවෙන්."
සිරිමාන්න අහිංසක ලෙස තම ලේලියගේ මුහුණට ද එබුණේ කෘතගුණ සැලකීමක් වශයෙනි. "එහෙනම් ලොකු පුතේ මම යන්නම්."
"යන්නම් නෙවෙයි තාත්තේ. ගිහින් එන්නම් කියන්න"
****************************************
"තාත්තා ගෙදර ගිහින් එනවා කිව්වට දැන් සතියක්ම වුණා. අපේ මහත්තයා ගෙදර ගිහින් ටිකක් හොයලා බලලා ආවා නම් නේද හොඳ?"
ලොකු පුතාගේ බිරිය එසේ කීවෙන් ඇගේ සිතේ නොමියෙන ලෙස තාත්තා යන නාමය කෙරෙහි තිබූ භක්තිය, ආදරය කොතරම්දැයි ඔහු වටහා ගත්තේය. එසේම තම බිරියගේ මව, ඇය කුඩා අවධියේ මියගිය බවත් තම පියා වෙනත් බිරියකගේ සහාය නොපතා තම දියණියගේ උන්නතිය වෙනුවෙන් ජීවිතය කැප කර තිබූ බවත් ඇය වරක් කීවා ඔහුට මතක තිබිණි.
"මටත් හිතාගන්න බැරි ඒකයි. කෝකටත් අනිද්දා සෙනසුරාදා යන්න ඕනේ" ලොකු පුතා කීවේය.
"ටික දවසක ඉඳලා එයා කොහෙදෝ ගියා ගියාමයි . . . ආයෙ ආවෙ නෑ . . . . " මල්ලිගේ බිරිය කීවෙන් ලොකු පුතාගේ ඇස් උඩගියේය.
"ඔයාලා හෙව්වෙ බැලුවේ නැද්ද?"
"අපි කියලා කොහේ හොයන්න ද? "
ඇය කීවේ අමනාපයෙන් බව ලොකු පුතාට දැනිණ.
"මෑතක ඉඳලා ඒ මනුස්සයාගේ මොළේ හොඳ නෑ. පිස්සුව තදවෙලා කොහේ හරි යන්න ඇති." ඇය කීවේ වගේවගක් නැති ගාණටය.
තවදුරටත් ඇය සමග කතා කිරීම නිෂ්ඵල බව ඔහුට දැනුණෙන් ලොකු පුතා බැංකුවට ගොස් විමසීමක් කළේය.
"සිරිමාන්න මහත්තයාගේ බැංකු කාඩ් එක නැතිවුණා කියලා පැමිණිල්ලක් දාලා ගිණුම කැන්සල් කළා."
බැංකු කළමනාකාරිනිය කීවේ එසේය.
"පදිංචිය වෙනස් කරනවා කියලා මට කියලයි ගියේ. අලුත් ඇඩ්‍රස් එක පස්ෙස දැනුම් දෙනවා කිව්වා."
ග්‍රාම නිලධාරිනියගේ පිළිතුර එසේය.
තම පියා ළඟින් ඇසුරු කළ රණතුංග මාමාගෙන් යම් තොරතුරක් ලබාගත හැකි යැයි ලොකු පුතා අපේක්ෂා කළ නමුත් එසේ වූයේ ද නැත.
"පුතා . . . මට සිරිමාන්න ගැන හරිම කනගාටුයි. එයාට ගොඩක් කරදර තිබුණා කියලා මම දැනගත්තෙත් පිට මිනිස්සුන්ගෙන්. මෙච්චර ළඟින් අපි ආශ්‍රය කරලත් එයා මාත් එක්ක ඒ මොනවත් කිව්වෙ නැහැ. හැම දෙයක්ම එයා ඉවසගෙන හිටියේ සීගිරිය වාගේ. මටත් එයා ගැන හොයන්න බලන්න වුණේ නැත්තේ මම පහුගිය කාලේ හිටියේ ඔස්ට්‍රේලියාවේ පුතාලයි ගෙදර . . . පහුගිය දවසක එයා හදිසියේම ඇවිත් මට කිව්වා ලොකු පුතාලයි ගෙදර පදිංචියට යනවා කියලා."
අවසානයේදී ලොකු පුතා පොලිස් පැමිණිල්ලක් දමා ආපසු ගියේ තමා අතින් බරපතළ වරදක් තම පියාට සිදුවී ඇතැයි යන ළතැවිල්ලෙනි.
වැඩි දවසක් නොගොස්ම තම සහෝදරයාත්, සහෝදරියත් ගුරු නිවාසයට ගොඩ වූයේ දෝෂාරෝපණ මලු දෙකක් උසුලාගෙනය. "තාත්තා කොයි ලෝකෙ ගියත් මට කමක් නෑ. අපේ ගේයි, ඉඩමයි හන්දියේ කඩේ මුදලාලිට විකුණලා දාලා යන්න ගියේ අපිව මහ පාරට ඇදලා දාලා . . . . ඔය මනුස්සයට කොයි ලෝකෙ ගියත් වගතුවක් වෙන්නෙ නෑ" සහෝදරයා පැවසූ විට ඔහු උඩ ගොස් බිම වැටුණේය.
"ලොකු අයියේ ඉඩම විකුණපු සල්ලි තුනට බෙදලා පංගුවක් මටත් ඕනේ." සහෝදරිය පැවසූ විට ඔහුගේ දෑත් ඉහ මතට ගියේ අසුරු සැණෙනි.
"මොකක් . . . ඉඩම විකුණලා . . . හාංකවිසියක් මම දන්නේ නෑ නෙව."
"බොරු කියන්න එපා අයියේ . .. ඉඩම විකුණලා ගත්ත සල්ලි දුන්නේ අයියට . . . පහුගිය දවස්වල මෙහෙ මඟුල් කෑවේ ඒ සල්ලිවලින් . . " සහෝදරයාගේ අස්ථාන චෝදනාවට සාරසුබාවට උත්තර ලැබුණේ ලොකු පුතාගේ බිරියගෙනි.
තාත්තා පැවසූ පරිදි මිනියක් මැරෙන්නට සිදුවන්නේ මිනුවන්ගොඩ නිෙවසේදී නොව මෙම ගුරු නිවාසයේදී බව ලොකු පුතාට සිතුණෙන් ඔහුගේ ඉවසීමේ රතු ඉර පැන්නේය. ඒ සමඟම විදුහලේ ගුරු මණ්ඩලයේ පිරිසක් සමඟ ඉහළ පන්තිවල ළමුන් රැස්වූ බැවින් පරිසරය නිශ්චල වූයේ ගම්වල මිනිසුන්ගේ එකමුතුවේ හාස්කම නිසාය.
ජීවිතයෙන් පැරදී ඉබාගාතයේ ගිය තම අහිංසක පියා වෙනුවෙන් සෙවීම් බැලීම් සඳහා කළ කැපවීම්වල අවසානයක් ලොකු පුතාට දැකගන්නට ලැබුණේ දුෂ්කර පෙදෙසක විහාරස්ථානයක වියපත් නායක ස්වාමීන් වහන්සේ නමකගෙනි.
"සිරිමාන්න උපාසක උන්නැහේ අවුරුද්දක් විතර මේ පන්සලේ ඇබිත්තකම් කළා. එයාගේ පැන්ෂන් එකෙන් තමා අර මල් ආසනේ හැදුවේ. එයාගේ මිය පරලොව ගිය හාමිනේට පින් ලැබෙන්න කියලා. එයා ළඟ තිබිච්ච සල්ලි මට දුන්නට මම ඒවා ගත්තේ නෑ. ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මෙව්වෙ මම. එයා නැති කාලෙක ඒ සල්ලි හිමිවෙන්න ඕනේ කියල එයා නම් කරලා තියෙන්නේ එයාගේ ලොකු පුතාගේ දරුවො දෙන්නව. එයා පාවිච්චි කරපු ඇඳුම් මල්ලේ ඒ හැම එකක්ම තියෙනවා. ගිය මාසෙ උන්නැහෙට හදිස්සියෙ පපුවේ අමාරුවක් හැදිලා නැතිවුණා. . . . "
නිමි.