දරුවන්ගේ Gateway drugs ගමනට තිත

පෙබරවාරි 17, 2025

 

පාසල් දරුවන් අතර ගැවසෙන මත්ද්‍රව්‍ය සහ ඊට බෙහෙවින් සමාන දෑ පිළිබඳ මාධ්‍යවලින්, සමාජ මාධ්‍ය ජාලවලින් කාලෙන් කාලෙට නොයෙකුත් දෑ සංසරණය වෙයි.

 

සිත් ඇද බැඳ ගන්නාසුලු අන්දමින්, රසවත්ව, සුවඳවත්ව හැම අතින්ම ආකර්ෂණීය ලෙස නිම වී ඇති මේවා ඇත්තටම පාසල් දරුවන් අතර සංසරණය වේද?

 

කාලයෙන් කාලෙට මෙවැනි දෑ පැමිණියත් මාධ්‍යවලින්, සමාජ මාධ්‍ය ජාලවලින් උපුටා දක්වන අන්දමටම ඒවා දරුවන් අතර සංසරණය නොවේ. එහෙත් මත්ද්‍රව්‍ය පිළිබඳ ආකර්ෂණීය චිත්‍රයක් හුවා දැක්වීමට ඒ සම්බන්ධ නිෂ්පාදකයින් වෙර වීර්යය දරයි. දරුවන් කැමතිම කාටුන් වර්ග, චිත්‍රපට, පරිගණක ක්‍රීඩාවන් ඔස්සේ ඔවුන්ගේ සිතට මේවා කාවද්දයි. බොහෝ විට මේවා නිෂ්පාදනය කරන්නේ ඇබ්බැහි වෙනසුලු අන්දමටයි.

 

සිරුරට ජවයක් එක් කරයි, මතක ශක්තිය වැඩි කරයි ....යනාදී දේ දරුවන්ගේ සිතට එක් කරයි. යොවුන් වියේ පසුවන දරුවන්ගේ නම් ලිංගික ශක්තිය වැඩි කරයි යනුවෙන්ද මතයන් විශ්වාසයන් දරුවන් අතර ගොඩනඟයි. මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින් රැවටෙනසුලු වයසේ පසුවන දරුවන් ඇබ්බැහි කරවන්නේ මෙලෙසයි.

මවුපියන්, ගුරුවරුන්ගේ අවවාදයන් නොතකන වයසේ පසු වන මොවුන් සම වයස් කණ්ඩායම්වල ක්‍රියාකලාපයන් හිස් මුඳුනින්ම පිළිගනී.

 

කාටූන් බලන වයසේ පසු වන පුංචිම දරුවන්ගේ පවා සිත ජවයෙන් පිරුණු දෑ වෙත යොමු කරයි. අවුරුදු 10න් පමණ පසු ඒ කෙරෙහි ඇති ආසාව වැඩි කරයි. ඉන්පසු හැකි ඉක්මනින් දරුවන් අතට මේවා පත් කිරීමට පහසු ක්‍රියාමාර්ග ගෙන එයි. දරුවන් අතරම මේවා විකුණන අය පත් කර ගැනීම ඉන් එක් ක්‍රමයකි. ' යාළුවන්ට මේවා විකුණුවොත් ඔයාට නොමිලේම ලබා ගන්න පුළුවන්' වැනි පොලඹවන ක්‍රමවේදයන් අනුගමනය කරයි. මිතුරන් එකතු වන ප්‍රිය සාදයන් ( Beach party, Facebook party....), ක්‍රීඩා වැඩසටහන් ....මේ ආදී තැන්වලට මෙම ‍ද්‍රව්‍ය ගෙන එමින් පහසුවෙන්ම ප්‍රචාරණ කටයුතු සිදු කරයි. පාසල, ටියුෂන් පන්තිය අසලම ඇති කඩය බොහෝවිට ඒවා මිලදී ගත හැකි අතරමැදියකු ලෙස සම්බන්ධ කරයි.

මේ බොහොමයක් මත්ද්‍රව්‍ය දරුවන් අතර සමීප කරන්නේ Gateway drugs නොහොත් දොරටු විවර කර දෙන මත්ද්‍රව්‍යවලිනි. ඒ සිගරට් සහ බියර්වලිනි. ගැහැනු දරුවන් පවා දැන් දැන් ඊට වැඩි වශයෙන් නතුව සිටී.

 

මුදා ගන්නේ කොහොමද?

 

මේවා භාවිත කරන්න බොහොමයක් දෙනා ඊට ඇබ්බැහිවී නොසිටී. තම දරුවා කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතයට හුරුව ඇති බව දැන ගතහොත් අනවශ්‍ය ලෙස කලබල වී දරුවන්ට තරවටු කරන්නට, දඬුවම් දෙන්නට උත්සාහ නොගත යුතුයි. දරුවාට වඩ වඩාත් සමීප වී මානසික උපදේශනයන් සඳහා යොමු කිරීම වැදගත් වේවි.

 

දරුවන් ගැවසෙන තැන් තැන්වල මේ සඳහා ඉඩකඩක් ලබා නොදීමට මවුපියන්ට වැඩිහිටියන්ට යම් යම් ක්‍රියාමාර්ග ගත හැකියි. නිවෙසේදී පවා දරුවන්ට අවවාද කරමින් මවුපියන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කරන සාදයන් පවත්වමින් විනෝද වීම නොකළ යුතුයි. දරුවන්ට මත්ද්‍රව්‍ය පිළිබඳ ආකර්ෂණය එතැනදීම ඇතිවීමට පුළුවනි.

 

රජයන් ඊට අදාළ අණ පනත්, නීති කෙටුම්පත් ක්‍රියාවේ නැංවීමට කටයුතු කළ යුතුයි. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය දරුවන් අතර ප්‍රචාරණය කරන කිසිමම දෙයක් පෙන්වීමට නොහැකියි. එම නීති උල්ලංඝනය කරන කලාකෘතින් අදටත් තිබේ.

 

එසේ නම් ප්‍රතිපත්ති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, ගුරුවරුන් සහ මවුපියන් මත්ද්‍රව්‍යවලට දරුවන් හසු නොවන පරිසරයන් හැකි අන්දමින් නිර්මාණය කිරීම, ඒ සඳහා යොමු වී ඇති දරුවන් ඉන් මුදා ගැනීමට දරුවන්ට සමීප වීම වැනි දෑ කළ හැකියි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමට මේ සියලු ආකාරයේ මැදිහත්වීම් අත්‍යවශ්‍ය වේ.

 

උපදෙස් :

රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ පීඨාධිපති වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු

 

 

[email protected]