අම්මා කියන දේ අහන්න

පෙබරවාරි 17, 2025

පුතාට අද මම මේ කියන්න යන්නේ මමත් අත්වින්ද දැනට වුණත් ඒකෙ වෙනසක් නැති කතාවක්.

අම්මයි බිරිඳයි දෙන්නාගෙන් කවුරුහරි අපි කරන්න යන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න එපා. මොන එකක් ද මන්දා ඒ කරන වැඩේ මොකක් හෝ පාඩුවක් කරදරයක්, අපහාසයක් හෝ මොනවා හෝ අකරතැබ්බයක් වෙනවාම තමා.

ඉස්සර ඔයාගේ අත්තම්මා මට ඔහොම දේවල්වලදී කියලා තියෙනවා ලොකු පුතේ ඔය වැඩේ නම් කරන්න එපා..එහෙම නැත්නම් කියනවා ඔය ගමන යන්න එපා..ඔය යාළුවා එක්ක පයුරුපාසානකම් තියාගන්න එපා කියලා.

හරියටම හරි ඒ කිව්වා වගේ සිද්ධ වෙන්නේම නපුරක්. ඔය වගේ තමා බිරිඳ කියන දේවලුත්. මම දන්නේ නෑ ඒ ඉව කොහොම ලැබිලා ද කියලා ඒ අයට. වැඩි සමාජ ආශ්‍රයක් නැති වුණාට සමාජය ගැන මොනයම් විදයකින් හරි අවබෝධයක් ලැබිලා තියෙනවා ද මන්දා. එහෙම නැත්නම් තමන්ගේ පුතාට, තමන්ගේ සැමියාට නරකක් වෙන්න යනවා කියලා ඉබේම හිතට එනවා ද මන්දා.

අම්මා කියනවා නේද ඔය යාළුවාගෙන් පරිස්සම් වෙන්න කියලා. ඒ කියන්නේ බොහෝවිට ඒ යාළුවාගේ කතා විලාසය හා කතා කරන වචන උච්චාරණය කරන විදිය අනුව වෙන්න ඕනේ. මනුස්සයකුට අත්දැකීමෙන් හෝ දැනෙනවා ඒ ඒ වචන හසුරුවන විදියෙන් හෝ හැසිරෙන අංගචලනයන්ගෙන් හෝ ඔහු හෝ ඇය කිනම් විදියේ කෙනෙක් ද කියලා.

මම අනුරාධපුරයේ නීතිඥ ලිපිකරුවෙක් විදියට නීතිඥ චින්තා පෙරමුණේ මහත්මියගේ කාර්යාලයේ වැඩ කළා . ඔය දවස්වල අම්මා ආවා අනුරාධපුරයේ උඩමළුවෙ සිල් ගන්න ඕනේ කියලා. ඒ ආවාම ඉතින් මගේ යාළුවන්ට මම අම්මාව අඳුන්වා දුන්නා.

“අයියෝ ඇන්ටි මේ උපාලි ඉන්නව නේද...කියලා වැඩක් නෑ...කොයිවෙලාවේ බැලුවත් රස්තියාදුව..” කියලා කට හැකර යාළුවෙක් කිව්වා. තව තව ඒවා කිව්වා.

“ඒකනේ ඉතින් යාළුවො එපායැ යාළුවාව බලාගන්න...” කියලා අම්මා ඒක සැහැල්ලුවෙන් අරන් කිව්වා. මමත් හිනාවෙලා නිකං උන්නා. යාළුවාගේ නංගිලා නම් කිව්වෙ “උපාලි අයියා එහෙම නෑ ඇන්ටි..” කියලා.

ඉතින් ඔන්න මමයි අම්මයි උඩමළුවට යන්න පිටත් වුණා. අපිත් එක්ක ගංගා කියලා නංගි කෙනෙකුත් ආවා. එයා මගඇරුණ වෙලාවක අම්මා මට රහසින් කතා කළා.

“අර යාළුවාව නම් ආස්සරේ කරන්න එපා..හරියට පරිස්සම් වෙන්න ඒ යාළුවාගෙන්..කොයි වෙලාවේ පාවා දෙනවද දන්නේ නෑ..” කියලා අම්මා කිව්වා.

යාළුවෙක් වුණාම තමන්ගේ යාළුවා වරදක් කරනවා නම් ඒක හදාගන්න එක වෙනම කාරණයක්. යාළුවාගේ අම්මාට, තාත්තාට හෝ කාට හෝ ඒ යාළුවාගේ වරදක් එහෙම ප්‍රසිද්ධියේ කියනවා නම් එහෙම යාළුවො විශ්වාස කරන්න එපා කියලා අම්මා කිව්වා. ඇත්තනෙ නේද ඔයාටත් එහෙම යාළුවො ඉන්නවා අපේ ගෙදරදිම අපි දැකලා තියෙනවා.

එවැනි යාළුවන්ගෙන් පරිස්සම් වෙන්න කියලා දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද?. අන්න ඒ වගේ අම්මා හෝ බිරිඳ හෝ කියනවා නම් කොයියම් හෝ යාළුවෙක් ආශ්‍රය කරන්න එපා කියලා ඒ කියන්නේ මොනවා හෝ දැනිලා වෙන්න පුළුවන්. සමහර වේලාවට කියන්නේ ඒ යාළුවාට මුදල් ණයට දෙන්න එපා ඒක ලැබෙන්නෙ නෑ..දෙනවා නම් ගන්න බලාගෙන දෙන්න එපා කියලා. එයාලා කියනවා නම් ඒකෙත් ඇත්තක් තියෙනවා.

 

අද ඔය ගමන යන්න එපා..ඔය යාළුවා එක්ක ඔය ගමන යන්න එපා කියලා කියනවා නම් දෙසැරයක් හිතන්න එපා. ඒක නොයා ඉන්න. මොකද ඒ ගමනෙන් වෙන්නෙ පාඩුවක්. මම මේ කියන්නෙ අත්දැකීමෙන්.

 

උපාලි බණ්ඩාර වීරසේකර