වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කන්තෝරු නෝනා

මෙහෙත් කෑම බෙදිල්ලක්...
09 වැනි දින සටහන
2016 මාර්තු 15 වැනි සඳුදා
මහගෙවල් ගාව නන්දසේන අංකල් නැතිවෙලා අවුරුද්දක් ගියා දැනුනෙවත් නෑ. ඊයෙ බණට තිස්සව යැවුවෙ අද දානෙට මං කොහොමත් යන්ඩම ඕනෙ හින්දයි. මොනවා වුණත් හදිස්සියකට අහල පහල ඉන්න මිනිස්සුනෙ. දුවයි පුතයි මහගෙදර ඉන්න වෙලාවට ඇන්ටියි අංකලුයි හරියට ළමයි ගැන බැලුවා. දුව පුංචි කාලෙ දවසක් වැටිල අංකල් තමයි නෑනණ්ඩිත් එක්ක දුවව ඩිස්පැන්සරියට ගෙනිහින් තුවාලෙට බෙහෙත් දාගෙන ඇවිත් තිබුණෙත්. පව් ඉතින් අන්තිමට කමල ඇන්ටි තනි වුණා. රට ගිය ළමයි මළ ගෙදටවත් ආවෙ නෑනෙ. දානෙට නම් සල්ලි එවුවලු.
" ටිකට්වලට ලක්ෂ ගාණක්ලුනෙ. ඒ යන වියදම දානෙ වියදමට දෙන්ඩද නැත්තම් ඇවිල්ලම යන්ඩද කියල දුව කෝල් කරපු වෙලාවෙ ඇහුවා. එන්ඩ නිවාඩු ගත්තොත් පඩිත් කැපෙනවලු නෙ. මං කිවුව එන්ඩ ඕන්නෑ කියලා. මැරුණ කෙනා දැන් මැරිල ඉවරයිනෙ සාමා දුවේ. එයා වෙනුවෙන් මොකටද ජීවත් වෙන අයට කරදර කරන්නෙ. එයා ඉන්න කාලෙත් කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෙමේ නෙ. "
කමල ඇන්ටි එහෙම කිවුවෙ එක හිතින්ම නෙමේ කියලයි මට හිතුණේ. ඕෙනම වෙලාවලදි තමන්ගෙ අය ළඟ නැතුවම දුක නොහිතෙන මිනිස්සු ඉන්නවද ?
කවද හරි දවසක මට කලින් තිස්ස මැරුණොත් මාත් මේ වගෙ තනි නොවෙයි කියල කාටද කියන්ඩ පුළුවන්. බැරි වෙලා හරි මම මුලින් මැරුණොත් තිස්සට මොන කලදසාවක් යයිද කියල මට හිතාගන්ඩවත් බෑ. ඇයි ඉතින් කිසි දෙයක් තනියෙන් හිතල මතල කරගන්ඩ පුළුවන් මිනිහෙක්යෑ.
හාමුදුරුවො දානෙ වැළඳුවැයින් පස්සෙ තමයි හොඳම නාටකේ තිබුණෙ. උදවුවට ආපු සමහරුන්ට අමුත්තන්ට සංග්රහ කරන්ඩ නෙමෙයි, තම තමන්ගෙ ගෙවල්වලට යවන්ඩ හොඳම කෑම ජාති ටික පාර්සල් කරගැනිල්ලෙ සිහිය තමා ඉහළින්ම තිබුණෙ. පුදුමෙ කියන්නෙ සමහරුන්ගෙ ගෙවල්වල ඉන්නෙත් දෙන්නයි නැත්තම් තුන්දෙනයි. හැබැයි පාර්සල් නම් දහ පහළොස් දෙනකුට සෑහෙන්ඩ එතුවා. සුමානයක් හමාරක් තියාගෙන කුණු කර කර කන්ඩද එහෙමත් නැත්තම් අහල පහල අයගෙත් අහල පහල අයට ආෙය බෙදන්ඩද කියල බෙදාගත්තු ඈයොම තමා ඉතින් දන්නෙ. මේ මිනිස්සු පින් කරන්ඩ ඇවිල්ලත් පව් පුරෝගන්නෙ මොන එහෙකටද කියලයි මට තේරුම් ගන්ඩ බැරි.
කොහොම හරි අන්තිමට අංකල්ලගෙ ගමෙන් ආපු නෑයො ටික කෑමට වාඩි වෙනකොට මාළු ඇඹුල් තියලුයි, කජු වෑංජනෙයි කියල ඉතුරු වෙලා තිබුණෙ හට්ටිවල ගැවිච්ච බොරේ විතරයි. දුරින් ආපු නෑයින්ට හරියට සලකගන්ඩ බැරුව කමල ඇන්ටි ලජ්ජාවෙ ඇඹරුණා. වැඩේ කියන්නෙ කමල ඇන්ටිටත් වඩා ඇඹරුණේ අපේ නෑනණ්ඩි නෙ. ඇයි ඉතින් මාළු ඇඹුල් තියල හදල ගෙනාවෙ එයා නෙ.
" ආපු සෙනඟ වගේ දෙගුණයක් ආවත් මදි නොවෙන්ඩයි මම ඇඹුල් තියල හැදුවෙ. හරිම විළිලැජ්ජාවක් තමා වුණේ."
දානෙ ඉවරවෙලා එන ගමන් නෑනණ්ඩි එහෙම කිවුවෙ ලජ්ජාවටත් වඩා තරහින් කියල මට තේරුණා. වෙච්චි දේට තරහ යන්නැත්තෙ කාටද හා. මොන අඩුපාඩු තිබුණත් අපේ නෑනණ්ඩි කන්ඩ බොන්ඩ දෙන්ඩ ලෝබ කෙනෙක් නෙමේනෙ. තමන්ගෙ බඩට නොකා හරි අනුන්ට දෙන දේ වචනයක් නාහන්ඩ දෙනවා. එහෙව් කෙනාට මෙහෙම මදි පුංචිකමක් වුණාම ඉතින් තරහ යන්නැද්ද ?