අම්මටයි බබාටයි ඉංග්‍රීසි-01

පෙබරවාරි 17, 2025

 

ඉංග්‍රීසි කියන්නේ විශ්ව භාෂාවක්. හැමෝම ගනුදෙනු කරන්නේ මේ භාෂාවත් එක්ක. මොකද ඉංග්‍රීසි කියන්නේ අද වෙනකොට මව් භාෂාව හැරුණු කොට ලෝකයේ ඕනෑම කෙනෙක් සන්නිවේදන කරන්න යොදා ගන්න, විද්‍යුත් මාධ්‍ය හා තොරතුරු ලබා ගන්න වගේම රැකියාවක් කරන්නත් අත්‍යවශ්‍යම සාධකයක්.

 

ඉතින් ඉංග්‍රීසි නැතුව අද කාලේ මේ කිසිම දෙයක් කරගන්න බැහැ. ඒ නිසාමයි මව්පියන් තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව කතාකරවීමට මෙතරම් උනන්දු වන්නේ. ඒත් මව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නය ඒකම තමයි. කොහොමද මේ දරුවන්ට ඉංග්‍රීසි හුරු කරවන්නේ?

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරද්දී පොඩි කාලේ ඉඳලම ඉගැන්වීම් කටයුතු කරන්නේ සිංහල මාධ්‍යයෙන්. ඒ විදිහට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන අන්තිමට විශ්ව විද්‍යාලයකට යන්නත් අවස්ථාව ලැබෙනවා. එතැනදී ඉංග්‍රීසි මාධ්‍යට සම්පූර්ණයෙන්ම මාරු වෙන්න සිදු වෙනවා. එතැනින් තමයි ගැටලුව පටන් ගන්නේ. ඉතින් විෂයය කරුණු වලට වඩා ඉංග්‍රීසි විෂයයට තියෙන බය නිසා විශ්වවිද්‍යාල කාලය කියන්නේ මේ දරුවන්ට ගොඩක් අපහසු කාලයක්. ගමේ ද නගරෙ ද කියලා නැහැ එතැනට එන්නේ හැමෝම දක්ෂ දරුවෝ. ඒත් ඉතින් කොපණ දක්ෂ වුවත් ඉංග්‍රීසි බැරි කෙනා මෙතැනදී ලොකු අපහසුතාවකට පත් වෙනවා.

 

ඒ නිසා කුඩා කාලයේ ඉඳලම දරුවට ඉංග්‍රීසි කතා කරන්න සහ කියවන්න හුරුකරවන්න ඕනෙමයි. ඒක පටන් ගන්න පුළුවන් හොඳම කෙනා අම්මා. අපි හැමෝම හිතනවා ළමයෙක්ට ලොකු වුණාම තමයි භාෂාවක් හුරු කරන්න ලේසි කියලා. ඇත්තටම දරුවෙක්ට භාෂාව හුරු කරවන්න හොඳම කාලය තමයි කුඩා කාලය. ඉපදුන දවසේ ඉඳන් අවුරුදු 5 වෙනකම් දරුවෙක්ට භාෂාවක් උගන්වන්න පහසුයි. භාෂා දෙක තුනක් වුණාත් මේ කාලයේදී දරුවන් පහසුවෙන්ම ධාරණය කරගන්නවා. නමුත් වයස අවුරුදු 10 පැන්නට පස්සේ ඒක ගොඩක් අපහසු වෙනවා. නමුත් අවුරුදු 5 - 10 කාලයේදී ව්‍යාකරණ, ඒක වචන, බහු වචන වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්.

 

චූටි බබාලට තේරෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ කියලා හිතුවට දරුවා ඉපදුන දවසේ ඉඳන්ම අපි ඉංග්‍රීසි කතා කරන එක වටිනවා. උදාහරණයක් විදිහට අපි කුරුල්ලෙක් පෙන්නලා බබා අර බර්ඩ් (Bird) කියලා පෙන්නුවම. බබා කුරුල්ලව හඳුනා ගන්නේ බර්ඩ් කියන නාමයෙන්. එතකොට එයා වචනයෙන් හඳුනගන්නවා. එයා එක ධාරණය කරගන්නවා.

දරුවෙක් අවුරුද්දයි අවුරුදු දෙකයි අතරෙදි කතා කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට අපි කියන දේවල් සහ ඇහෙන දේවල් තමයි දරුවා කතා කරන්න පටන් ගන්නේ. එතැනින්ම තමයි ඉංග්‍රීසි භාෂාව දරුවන්ට හුරුකරවන්න ඕනේ.

සාමාන්‍යයෙන් පාසල් වල ඉංග්‍රීසි උගන්වන්නේ 3 ශ්‍රේණියේ ඉඳලා. ඒ කාලය වෙද්දි ඉංග්‍රිසි විෂය දරුවට ධාරණය කරගන්න අපහසුයි. පිටරවලනම් දරුවන්ට ඉංග්‍රීසි සිම්පල් අකුරු ටික පෙන්වලා ශබ්ධ කරන හැටි උගන්වන්න පටන් ගන්නේ වයස අවුරුදු තුනහමාරෙන්. ඒ කාලය තමයි දරුවගේ හොඳම කාලය. අවුරුදු 4 පහු වෙද්දි කැපිටල් අකුරු ටිකත් ඒ විදිහටම කියලා දෙනවා. ඊට පස්සේ තමයි ඒ අකුරු එකතු කරලා අකුරු තුනේ වචන පුරුදු කරවන්නේ.

 

එහෙම බලද්දී හැම අම්මා කෙනෙක්ටම හිතෙනවා ඇති අපි අපේ දරුවාට ඉංග්‍රීසි උගන්වන්න කොච්චර නම් ප්‍රමාද ද කියලා. මේ විදිහට ප්‍රමාධ වෙන්න, වෙන්න දරුවට ඉංග්‍රීසි භාෂාව කෙරෙහි තියෙන ආසාවත් නැති වෙලා යනවා.

ඉතින් අපි හිතුවා අම්මයි චූටි බබයි අතරේ ඉංග්‍රීසි කතා බහ ගෙදර ඉඳලම පටන් ගන්න අත්වැල සපයන්න. අදින් ඇරඹෙන මේ පාඩම් මාලාවෙන් ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව තවත් පහසු වේවී. අම්මයි බබයි නිවෙසේ ගත කරන කාලයේදී පහසුවෙන් කතා බහ කරන්න පුළුවන් වාක්‍ය මොනවද කියලා ලබන සතියේදි කතා කරමු.

 

උපදෙස්

බාහිර ආචාර්ය නදීකා මධුවන්ති

(Nadee teacher)