වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ගගන වන් නැඟණිට ආදරෙන්...

ඔයා ඕලෙවල් කරන කාලේ මට මතකයි මාසයක් දෙකක් විතර යනකල් මොකක් හරි අමුතු ලෝකෙක ඉන්නවා වගේ දැනුණා. මට විතරක් නෙවෙයි ඒක අම්මටත් දැනිලා තිබුණා.. ඒත් එයා ඒක ඔයාගෙන් ඇහුවෙවත් මට කිව්වෙවත් නෑ.. ඒත් එයා ඔයා ගැන හිටියෙ ඔයාටවත් නොදැනෙන තරම් සියුම් සෙවිල්ලක. ඔයාගේ මූණේ රෝසමල් යායක් සිප ගෙන මැවෙන විස්මිත මායා ලෝකයක් මැවෙද්දි අම්මාගේ මූණෙ තිබුණෙ තැතිගැන්මක්. මට ඒ දවස්වල මතක් වුණා ආයෙමත් අර මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ " දියණියනි" කියන කවිය.
" තිඹිරිගෙයිදී නුඹේ දිගටි ඇස් දුටු විගස
දියණියනි නුඹ නමින් ඇසේ කඳුළක් රැඳිණ
කලෙක උඹ සුළං වැද සසල දලුවක් විලස
වහා සැලෙනා හදැති ගැහැනියක වන බැවිනි
සොළොස් විය පිරුණු උඹෙ නීල නෙතු රුසිරු දැක
එදා මගෙ වත පුරා සිනා රැල්ලක් ඇඳිණි
සොඳුරු දන සොයන දන කිත් කිරුළු පලඳවන
උඹ මහත් අසිරිමත් රුවැතියක වූ බැවිනි
හදෙහි පෙමකින් ජනිත උඹෙ නෙතඟ අසිරි දැක
යළි මගේ ඇස කොනක කඳුළු බිඳුවක් රැඳිණි
කිරිල්ලිය සේ තුටින් ලොව සරන'මුත් මෙනුඹ
මුවැත්තිය සේ සසල පෙම්වතිය වූ බැවිණ"
මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය ස්ත්‍රීත්වය පිළිබඳ දයනීය විදිහට බලලා ලියවුණු කවියක්. තමන්ට ලැබුණෙ දුවෙක් කියල දැන ගත්ත ගමන් අම්මා කෙනෙකුගේ ඇස්වලට කඳුළක් උපදින්න නම්, මේ සමාජය ඇතුළෙ ගැහැනියකට උරුම ජීවිතය ගැන හොඳින් දන්න ඇය ඒ ගැනම කොයිතරම් කලකිරීමක් තියාගෙන ඒක පිටට නොපෙන්වා ඉන්න ඇද්ද? ගැහැනියකට සුළඟින් සසල දලුවක් වෙන්න කිව්වෙ කවුද? ගැහැනියගෙන් සසල දලුවක් අපේක්ෂා කරන්නෙ ඇයි? ඊළඟට මේකේ කියැවෙනවා දුව දහසය හැවිරිදි වයසට ඇවිත් ලස්සනම ලස්සන කෙල්ලක් වුණාම අම්මාගේ වත පුරා සිනා රැල්ලක් ඇඳුණයි කියලා. සොළොස් විය. පිරෙන කෙල්ලන්ගේ "ලස්සන" විනිශ්චය කළේ කවු ද? ඒ මොන තියරිවලට, මොන නිර්ණායකවලට අනුව ද? ආයෙමත් කිරිල්ලියක සේ පියාසලන දියණිය මුවැත්තියක බඳු පෙම්වතියක් වුණාම අම්මාගේ ඇස්වල කඳුළක් මතු වෙනවා..
පෙම්වතියකගෙන් මුවැත්තියක් අපේක්ෂා කළේ කවුද? ඇත්තට ම පෙම්වතියක් වුණාම එහෙම වෙන්න ඕන ද? කවද හරි දවසක ඇගේ පෙම්වතා කිරිල්ලියක සේ සරන එයාගේ අත්තටු කපා දමනවා ද? මේ මගෙ ඔළුවෙ මේ කවිය කියවපු දවස්වලම නැඟුණු අදහස්..
ඔයාගේ භද්‍ර යෞවනෝදය අම්මට දැනුණු විදිහ වගේ ම සද්ද නොකර මමත් ඒක වින්ද විදිහත් කියන්න ම ඕන. ඔයාට නොඇසුණාට මගේ හදවතිනුත් ඒ දවස්වල හීනියට මිමිණිණු සින්දුවක් තිබුණා..
"දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉරහඳ තියලා
ආදර හිත ළඟ කවුරු ද මුවා වුණේ.."
ඒ ඉමිහිරි යෞවනෝදයේ චමත්කාර නිම්නය පසුකර ගෙන දැන් ඔයා ඇවිත් ඉන්නෙ පරිණත යෞවනයකට. දැන් ඔයාගෙ හැඟුම් හැඟවුම් කලාපය වෙනස් වෙලා.. ඒ නිසා මට මෙතන ඉඳලා ගොඩක් විවෘත ව ඔයා එක්ක කතා කරන්න පුළුවන් වෙයි.