රස වස දැමූ බත්පතේ කතාව

පෙබරවාරි 24, 2025

 

ආදරණීය පුතේ;.

අද මං දැක්කා අපූරු කතාවක් තියෙනවා මුහුණු පොතේ. ඒක ඔයාට කොයි තරම් ගැළපෙනවාද මන්දා. හැබැයි තමන්ගේ ජීවිතයට ඒක ගළපාගන්න බැරි නෑ. මම එහෙම කිව්වාම හිතන්න එපා අපේ ගෙදරත් තියෙන ප්‍රශ්නයක් කියලා. අපෝ නැහැ එහෙම එකක් නෑ. නමුත් කාටහරි වැදගත් වෙයිනෙ.

කතාව මේකයි. එක නැන්දම්මා කෙනෙකුයි ලේලියකුයි හිටියා. මේ නැන්දම්මා ලේලි ප්‍රශ්නය නම් චිරාත් කාලයක සිට එන එකක් කියලයි අපිට ජනකතා කියවද්දි උනත් අහු වෙන්නේ. ඇත්තටම නම් ඔතන මානසික ප්‍රශ්නයකුත් තියෙනවා. මොකද දන්නවද ඊඩිපස් සංකීර්ණය ඉලෙක්ට්‍රා සංකීර්ණය කියලා මනෝ විද‍යාවෙදි කාරණා දෙකක් ගැන කියනවා. ගැහැනු දරුවො ආදරේ තාත්තාට. පිරිමි දරුවෝ ආදරේ අම්මාට. ඒ වගේම තාත්තා දුවලාට. පුතාලට අම්මාත් ආදරෙයි. බොහෝම කලාතුරකින් තමා ඕක වෙනස් වෙන්නේ. ඔය මානසික කාරණයත් නැන්දම්මා ලේලි අතර ගැටුමට මුල් වෙනවා. ‘පුතාට හරියකට කන්න දුන්නද...කැමැති ඒවා දෙනවද...රෙදි ටික හෝදලා දෙනවද.. වෙලාවට තේ එක දෙනවද..’ඔන්න ඔය වගේ දේවල් අම්මා එදා ඉඳන්ම කරපුවා පුතාගේ විවාහයෙන් පස්සෙත් කරන්න යනවා.කොටින්ම කියනවා නම් ඒ පවුල් ජීවිතයට ඇඟිලි ගහන්න යනවා.

බිරිඳක් උනත් කැමැති තමන්ගේ සැමියාට ආදරෙන් සලකන්න.සමහර වෙලාවට අම්මාටත් වඩා හොඳට බිරිඳ සැමියාට ඕන කරන කැම බීම අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරලා දෙනවා වෙන්න පුළුවන්.ඒත් අම්මා ‘කෑවද පුතේ මොනවද පුතේ කෑවේ..රහයිද පුතේ..’කියලා ඇහැව්වාම පුතාට බෑනේ අම්මාගේ හිත රිදවන්න ඉතින් ඕනවට එපාවට ‘ඔව් අම්මෙ කෑවාහ්..’ කියනවා. බිරිඳට මේක ඇහෙනවා.මොකද වෙන්නේ ඇහුනාම.

මම නම් කියන්නේ පුතේ අම්මා ලේලිට තමන්ගේම දියණියකට වගේ සලකන්න දැන ගන්න ඕනේ. දියණියත් තමාගේ අම්මාට වගේම සලකන්න. අම්මා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ.

ඔන්න එක ගෙදරක නැන්දම්මායි ලේලියි දෙන්නා ගහ මරා ගත්තා.සැමියා වැඩ ඇරිලා ගෙට ගොඩ වෙද්දිම බිරිඳ ගිහින් කේලම කියනවා. පුතා ඉතින් ඕක ගණන් ගන්න එපා කියලා සමථයකට පත්කරමින් හිටියා. ඒත් දවසක් බැරිම තැන පුතා අම්මාගේ පැත්ත ගත්තා. අන්න එදා ඊශ්‍රායලයයි ගාසා තීරයයි වගේ ලොකු ගැටුමක් සිද්ධ වූණා. මල්ටි බැරල් පවා ගහන තරමට. සමහර ඒවා අලුතෙන් ගෙනා පිඟන් කෝප්ප සී සීකඩ.

බිරිඳ තරහා වුණා. ඇය ගියා ඇයගේ ගෙදර.

‘අම්මේ මං ආයෙනම් අර ගෙදර පස් පාගන්නේ නෑ.. අර නැන්දම්මා එක්ක ඉන්න බෑ.. මම ආයෙ යනවා නම් යන්නේ ඕකි මළාට පස්සේ..අනේ අම්මේ බැරිද ඒකිට වහ ටිකක් දෙන්න මැරෙන්න..’

ඔන්න ලේලිගේ ඉවසීමේ සීමාව පැනලා කිව්වා. ලේලිගෙ අම්මා කිව්වා දුවේ ඒ මනුස්සයාට වහ දුන්නොත් අපි දෙන්නටම හිරේ යන්න වෙනවා. එතකොට ඉතින් නැන්දම්මාත් නෑ. මිනිහත් නෑ. අපි දෙන්නට හිරේ ඉන්න වෙන්නේ කියලා. ඒ අම්මා කිව්වා හරි ඉන්න බැරි නම් මම කුඩක් දෙන්නම් ඒක ටික ටික දිනපතා බත් එකට දාන්න වැඩිය දාන්න එපා යාන්තමට දාන්න ටික දවසක් යද්දි නැන්දම්මා මැරෙයි. හැබැයි ඒ දවස්ටිකේ නැන්දම්මා එක්ක බොහොම හොඳට කියන දේත් අහගෙන ගෙදර වැඩපලත් කරගෙන ඉන්න කියලා අම්මා උපදෙස් දුන්නා. ලේලිත් බොහොම සතුටින් ගෙදර ගියා. දැන් දිනපතාම නැන්දම්මාගේ කෑම එකට අර වස ටික ටික දානවා. නැන්දම්මා කියනදේත් යස අපූරුවට අහනවා. දැන් නැන්දම්මා හරිම ආදරෙයි ලේලිට. පුතාටත් හිතා ගන්න බෑ. මෙහෙම ටික දවසක් ගියාම ලේලි බැලුවා අපේ අම්මටත් වඩා නැන්දම්මා මට ආදරෙයි අනේ දෙයියනේ මේ අම්මාව මරා ගන්න බෑ කියලා හිතලා ගෙදර ගිහින් අම්මාට කිව්වා ‘අනේ අම්මෙ අර මගේ මහත්තයාගේ අම්මාට දුන්න වසවල විෂ අඩුවෙන්න මොනවා හරි කරන්න..ඒ අම්මා රත්තරන් අම්මා කෙනෙක් අම්මේ..එයා මට හරිම අාදරෙයි. අනේ අම්මා මොනවා හරි කරන්න අම්මේ..’කියලා කිව්වා. ‘මම දුන්න වහක් නෑ බං..මම දුන්නේ ඔය කෑම රස කරන රසකාරකයක්.. ඒ අම්මා මැරෙන්නේ නෑ.. නමුත් දැන් තේරෙනවා නේද ඒ අම්මා එක්ක ඉන්න ඕනේ විදිය.. එයාටත් ආදරෙන් එයා කියන විදියට ඉන්න කොට මොනවාවත් ප්‍රශ්න නෑ.. බලාපන් දැන් ඒ ගෙදර කොච්චර ලස්සනද කියලා.. ගෙයක් ලස්සන වෙන්න නම් මොනවද කරන්න ඕනේ එකිනෙකාගේ ඕන එපාකම් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ..’ අම්මා කිව්වා.

 

දැක්කා නේද පුතේ එකිනෙකාගේ අදහස් ඕනෑ එපාකම් කිව්වා ම අම්මාගේ බිරිඳගේ නැන්දම්මාගේ විතරක් නෙවේ අපේ ළඟම නෑදෑයන්ගේ මිතුරන්ගේ පවා තේරුම් අරන් ජීවත් වෙනවා නම් නි‍ෙවස විතරක් නෙවේ ලෝකයම සුන්දර වෙනවා. කොටින්ම ‘තමන්ගේ බිරිඳ එක්ක රණ්ඩු නම් වෙන්න එපා..ඒක ජීවිත කාලෙටම බලපානවා’ ඒකයි මගේ අදහස.