වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ආදරවන්තයින්ගේ දිනය දා සිඳුණු චොකලට් ගංගාව

වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය පෙබරවාරි 14 වැනිදා. මෙවරත් ආදරවන්තයන් අතර හුවමාරු වූ තිළිණ අතර චොකලට් කොතෙකුත් තිබෙන්නට ඇති.කෙසේ වෙතත් චොකලට් යනු තුරුණු පෙම්වතුන්, කුඩා දරුවන් පමණක් නොව ගැහැනු පිරිමි ලොකු කුඩා භේදයකින් තොරව බොහෝ දෙනා ප්‍රිය කරන දෙයක්.
පසුගිය ආදරවන්තයන්ගේ දිනය දවසේම ලොව පුරා චොකලට් ලෝලීන්ට දුක්මුසු පුවතක් අසන්නට ලැබුණා. ඒ,මේ වනවිට ලොව සුපතළ චොකලට් සන්නාම බවට පත්ව ඇති නිෂ්පාදන ගණනාවක්ම හඳුන්වා දෙන්නට මුල්වූ ඉතාලියානු රසායන විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ රිවෙලා ගේ අභාවයයි. ඉතාලි මාධ්‍ය ඔහුගේ වියෝව පිළිබඳ පවුලේ නිවේදනය ලොවට ගෙනගියේ , "නියුටෙලා" (Nutella) පීතෘ මෙලොවින් සමුගනී..යනුවෙන්.
නියුටෙලා යනු ලොව වඩාත් ප්‍රියතම හේzසල්නට් තැවරුම ලෙස සැලකෙනවා.දිවිගමන නිමාකරන විට රිවෙලා 97 හැවිරිදි වියේ පසුවුණා.
ඔහුගේ ජීවිතයෙන් වැඩිකාලයක් ගතවී ඇත්තේ ගුණාත්මකව ඉහළ මෙන්ම ප්‍රණීත රසයෙන් යුතු චොකලට් ලොවට හඳුන්වා දීම වෙනුවෙන්. චොකලට් කර්මාන්තයේ දැවැන්තයන් වන ෆෙරරෝ (Ferrero) පවුලේ සාමාජිකයෙක් වූ මයිකල් ෆෙරරෝගේ දකුණු අත ලෙස ද රිවෙලා ප්‍රකටයි.හරියටම මීට දස වසරකට ඉහතදී මයිකල් ජීවිතයෙන් සමුගත්තේ ද පෙබරවාරි 14 වැනිදාවකයි. රසායන විද්‍යා උපාධිධරයෙක් ලෙස උසස් අධ්‍යාපනය සපුරා ෆෙරරෝ සමාගමේ රසායන විද්‍යාඥයෙක් ලෙස , ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරැඹුවේ 1952 වසරේ දී. ඒ වනවිට ඔහු 24 හැවිරිදි තරුණයෙක්. උතුරු ඉතාලියේ ඇල්බාකට් නම් කුඩා නගරයේ , Ferrero කම්හල අරඹා තිබුණේ ඊට වසර හයකට පෙරාතුව.
එම නිෂ්පාදන ඒ වනවිටත් ජනප්‍රියව තිබුණේ නෑ. මේ වනවිට ලොව ජනප්‍රියම සන්නාම බවට පත්ව ඇති චොකලට් ගණාවකම උපත සිදුවූයේ ,රිවෙලා එහි සේවයට පැමිණි පසුව "ෆෙරරෝ රසායන විද්‍යාගාරයේ" දී. ඒ වෙනුවෙන් වෙහෙස නොබලා කැපවූ රිවෙලා, මයිකල් ෆෙරරෝ සමඟ ලොව පුරා රටවල් ගණනාවක සංචාරය කරමින් රසකැවිලි පිළිබඳ අධ්‍යයනයක යෙදුණා.එහි අරමුණ වූයේ ඒවා අනුකරණය කිරීම නොව ඊටත් වඩා රසයෙන් යුතු චොකලට් නිෂ්පාදනය කිරීමයි.
මේ අතරවාරයේ චොකලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ද ඔවුන් සපයා ගත්තා.
1964 දී Nutella නමින් ලොවට හඳුන්වා දුන් නිෂ්පාදනය ඊට පෙර Giandujot යනුවෙන් වෙළෙඳ පොළේ පැවතියා.එහි අරුත " චොකලට් සහ හේzසල්නට් මිශ්‍රණයයි" පාන්වල තැවරුමක් ලෙස හඳුන්වා දුන් එය වසර කිහිපයක් යනවිට Super Crema යනුවෙන් වෙළෙඳපොළට පැමිණියා. එය වඩාත් දියුණු කරමින් Nutella හඳුන්වා දුන්නේ රිවෙලා විසින්.හේzසල්නට්,කොකෝවා ,සීනි,කිරි, ෆාම්තෙල් සහ තවත් අමුද්‍රව්‍යවල මිශ්‍රණයක්.
මීට අමතරව TicTac, Kindo, Ferrero Rocher වැනි තවත් ජනප්‍රිය නිෂ්පාදන ගණනාවක් ෆෙරරෝ සමාගම එළිදැක්වූයේ රිවෙලා ගේ ද කැපවීම හේතුවෙන්.
සමාගමේ කළමනාකරුවෙක් වශයෙන් උසස්වීම් ලබා අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද කටයුතු කරමින් සිටි ඔහු ,1993 දී වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව දරුවන් සිව්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් ගතකළා.තුරුණු විය චොකලට් සමඟ ගෙවා දැමූ ඔහු සැඳෑසමයේ පලතුරු වගාවට යොමු වුණා. Pallapapno නම් සාම්ප්‍රදායික ඉතාලි ක්‍රීඩාවටද ඔහු ප්‍රිය කළා. ඊට අමතරව තමන් ජීවත් වූ රැකියාවේ යෙදුණු ඇල්බා නම් කුඩා නගරයේ වූ රොටරි සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස සමාජ මෙහෙවරට ද ඔහු කැප වුණා. ඉකුත් සඳුදා ඔහු මිහිදන් කෙරුණේ ද ඒ නගරයේ පිහිටි ශාන්ත ලොරෙන්සෝ දෙව්මැදුරේ.
රිවෙලා නික්ම ගියද ඔහු හඳුන්වා දුන් චොකලට් තිබෙනතුරු ඔහු ගැන මතකය ද යළි යළි අලුත් වනු ඇති.