කාන්තාවක් කියන්නෙ උයන, පිහන, මහන, ගොතන කෙනෙක් විතරක්ම නෙවෙයි

මාර්තු 10, 2025

ගැහැනිය මෙලොව අපූරුතම නිමැවුම් අතර ඉහළින්ම සිටී. ඈ විටෙක ආදරයෙන් පිපෙයි. ආදරයෙන් සුවඳවත් වෙයි. ආදරයෙන් පැහැගැන් වෙයි. ආදරයේ නාමයෙන් පරව යයි. එසේම කාන්තාවක් ලොව ජීවනාලිය බඳුය. ලෝකයට ජීවය දෙන්නීය, ලෝකය හැඩ කරන්නීය, ලෝකය සුන්දර කරන්නීය. දියණියක, මිතුරියක, සහෝදරියක, බිරියක, මවක ලෙස ඇය ලබා දෙන්නාවූ සේවය මිල කළ නොහැකිය. ලොවටම ආදරය කරන එකම ජීවය ඇයයි.

කාන්තාවක් ළදැරියක්, තරුණියක්, මානවිකාවක්, පෙම්වතියක්, බිරියක්, මවක් මේ කොයි විදිහට ආවත් කාන්තාවගේ හිත හරි හයයි. ඉතින් කාන්තාව කියන්නේ තමන් ගැනම විතරක් හිතන කෙනෙක් නෙවෙයි. අපි දන්න කාලයේ ඉඳලම අම්මා තමන්ගේ දරුවා ගැන හිතනවා. ගැබ්බර වුණහම අම්මා උණු වතුර ටිකක්වත් බොන්නේ නැහැ. සීතල වතුර ටිකක්වත් බොන්නේ නැහැ තමන්ගේ ගර්භයේ ඉන්න දරුවට හානි වෙයි කියලා. ඒක නිසා අම්මා කෙනෙක් වෙන්න පටන් ගත් තැනේ ඉඳලා දරුවා සහ අම්මා අතර ඇතිවන අවියෝජනීය බැඳීම කිසිදා කිසි කෙනෙකුට කඩන්න බැරි බැඳීමක් වෙනවා. එතැනින් එහාටත් ගැහැනු දරුවකුගේ භූමිකාව හරිම සුවිශේෂයි. එයා සහෝදරියෝ වෙනුවෙන් පවුලේ අනිත් අය වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරනවා. ඉතින් මම ඔබට කියන්නෙත් මේ කාන්තා දිනයේ ඔබ තේරුම් ගන්න ඕනේ හැමෝටම ආදරය කරන කාන්තාවක් වෙන්න. හැබැයි ආදරය කරනවා කියන එකේදී ආදරය ගන්න විතරක් බලාගෙන හිටියොත් ඒ ආදරය ලස්සන නැහැ. ආදරය දුන්නත් නැතත් අපි අනිත් කෙනාට ආදරය කරන්න ඕනේ. එහෙම ආදරය කරන්න පුළුවන් විශේෂ දක්ෂතාවකින් තමන්ගේ හිත පාලනය කරගත්ත සහ තමන් ගැන විතරක් හිතන්නේ නැති, හිත හොඳ අයට.

ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ කාන්තා දිනයේදී විනාඩි 5 - 10ක් අරගෙන තමන් දිහා ආපහු හැරිලා බලන්න. තමන්ගේ හැඟීම් දිහා ආපහු හැරිලා බලන්න. එතකොට තමන්ට තේරේවී තමන් අනිත් අය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. සමාජයේ යම් තලයක ඉන්න කාන්තාවන්ගේ මම දකින දෙයක් තමයි එයාලා කොන්දේසි විරහිතව අනිත් අයට ආදරය කරනවා. ගුරුවරියක් නම් ශිෂ්‍යන්ට ආදරය කරනවා. අම්මා කෙනෙක් නම් දරුවන්ට ආදරය කරනවා. හෙදියක් නම් රෝගීන්ට ආදරය කරනවා. බැංකු නිලධාරිනියක් නම් ගනුදෙනුකරුවන්ට ආදරය කරනවා. ආදරය කරනවා කියන එකෙන් මම අදහස් කරන්නේ බදාගෙන ඉඹගන්නවා.. සිප වැලඳගන්නවා, කායික ස්පර්ශයක් දෙනවා කියන එක නෙවෙයි. නමුත් කරන කාර්යය හරියට කරන එක මම හිතන්නේ හරිම ආදරය දීමක් කියලා.

දුප්පත් මනුස්සයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි සමෘද්ධි බැංකුවට හරි වෙන කොහෙට හරි ආවම එයාගේ වැඩේ ඉක්මනට කරලා දෙන්න ඕනේ. එහෙම නොකළොත් කටවල් 6ක් බඩගින්නේ ඉන්න වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අනිත් අයට ආදරය කිරීමක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. මම ගොඩක් කැමැති කාන්තාවන් තමන්ටම ආදරය කරනවානම්. අපි ළඟ දෙයක් තිබුණොත්නේ අනුන්ට දෙයක් දෙන්න පුළුවන්. මගේ ළඟ ආදරය නැත්නම් මම කොහොමද තව කෙනෙක්ට ආදරය දෙන්නේ. ඒක නිසා මම මට ආදරය කරන්න ඕනේ. මම මට ගෞරවයක් දෙන්න ඕනේ. මම මට අගයක් දෙන්න ඕනේ. මම මට වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් තරුණී කියවන හැමෝම හිතලා බලන්න ඔබ එහෙම කෙනෙක් ද? ඔබ ඔබට ගෞරවයක් දෙනව ද? ඔබ ඔබට අගයක් දෙනව ද? ඔබ ඔබට වටිනාකමක් දෙනව ද කියලා. විවාහ වෙලා ගියාට පස්සේ කාන්තාවට හම්බෙන්නේ අලුත් නෑදෑ පරපුරක්. ඒ නෑදෑ පරපුරේ අපේක්ෂා වෙනස්. බලාපොරොත්තු වෙනස්. හැසිරීම් රටා වෙනස්. හැඟීම් වෙනස්. සමාජයීය පරිසරය වෙනස්. හැබැයි ඒ පරිසරය තුළදීත් කාන්තාව තමන්ගේ උපරිමයෙන් වැඩ කරනවා. අද ඉන්නෙ එදා කාන්තාව නෙවෙයි. අද කාන්තාව උයන පිහන වැඩවලට විතරක් හිර වෙලා ඉන්නෙ නැහැ. මොකද අද බොහොමයක් ඉහළ තනතුරු දරන්නෙ කාන්තාවන්. ඉතින් මට හිතෙනවා අද කාන්තාව ගෙදර විතරක් නෙවෙයි ලෝකයම දිනාගෙන ඉවරයි කියලා.

සමහර කාන්තාවන් තමන් කරන රස්සාව කරන්නේ කැමැත්තකින් නෙවෙයි. අපිට කැමැති රස්සාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් ඕනේ. ඉතින් අපි කරන රස්සාවට කැමති වෙන්න ඕනේ. එතකොට තමයි අපි ගෙදර උපයන්නියක් බවට පත් වෙන්නේ. කරන හැම දේම ආසාවෙන් කැමැත්තෙන් කරන්න. ගෙදර අයට බත් උයන කොට ආදරයෙන් බත් උයන්න ඕනේ. ගෙදර අයට යමක් පිළියෙල කරද්දී ආදරයෙන් පිළියෙල කරන්න ඕනේ. ආදරය කියන්නේ අපිට බෙදාහදා ගන්න පුළුවන් හොඳ දෙයක්. ඒ ආදරය හරි විදිහට කළොත් සිත් තැවුල් ඇති වෙන්නේ නැහැ.

අපි ආදරය කරන්න ඕනේ මිනිස්සුන්ට විතර ද? ඇයි සත්තුන්ට ගහකොළවලට කුරුල්ලන්ට මාළුන්ට අපි වටේ ඉන්න ජීවි අජීවි හැම දේකටම ආදරය කරන්න ඕනේ.

ඇයි ගහකොළවලට ආදරය කරන්න කියන්නේ. මේ ලෝකේ පැවැත්මට ගහකොළ තියෙන්න ඕනේ. මී මැස්සා තමයි වටිනාම ආහාරය සපයන කෙනා. පුංචි මී පැණි බිංදුවක් එකතු කර ගන්න මී මැස්සා ලොකු මහන්සියක් ගන්නවා. ඉතින් අපි ඒ මී මැස්සට ආදරය කරන්න ඕනේ නැද්ද? අපි ගහෙන් මල් කඩද්දී ගහටත් මල් ටිකක් ඉතුරු කරන්න. සමනලුන්ට මීමැස්සන්ට මල් ඉතුරු කරන්න. එහෙමයි අපි පරිසරය ගැන හිතන්න ඕනේ. මම ජීවත් වෙන්නේ නාගරික ප්‍රදේශයක වුණාට මම දකිනවා රෑට ඉත්තෑ පවුල් ගමන් යනවා පුංචි පුංචි පැටව් එක්ක. ඉතින් මට හිතෙනවා අනේ කොච්චර ලස්සන පවුලක් ද. මෙයාලා ලස්සන පවුලක් විදිහට ගමන් යනවනේ කියලා. ඉතින් පවුලේ සතුට වැඩි කරගන්න එකත් ඇති. පුංචි පුංචි ගමන් යන්න. ළමයි ටික ටික ඉහළට යද්දී අනේ මමයි මේ දරුවට ආලෝකය දුන්නේ කියලා අම්මෙක්ට හිතෙනවනම් ඒක තමයි ලොකුම සතුට.

ගඟක් හරිම සිහිලැල්, සුළඟ හරිම සිහිලැල් මිනිස්සු ආදරය කරන්නේ ඒ වගේ හරි සෞම්‍ය දේවල්වලට. අපිට රළු පරළු දේවලුත් ඕනේ. අපිට ගින්දර ඕනේ. ඉර එළිය ඕනේ. අකුණු ගහන්න ඕනේ. පරිසරයේ විතරක් නෙවෙයි ජීවිතයේ සමතුලිතභවට මේ හැමදේම ඕනේ. කාන්තාව ස්වාභාවධර්මයට හරි ළඟයි. මේ සොබාදහමට ආදරය කරන්න ඕනේ. සොබාදමට ආදරය නොකරන කිසි කෙනෙක්ට වෙන කිසි දේකට ආදරය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ වඩා වැදගත්ම දේ වෙන්නේ මේ ලෝකයේ ඉදිරි පැවැත්ම අරගෙන යන්න ඔයාලා තමයි දායක වෙන්නේ. අපිට තමයි ගර්භාශයක් තියෙන්නේ. අපි තමයි පරපුර හොඳ තැනකට අරගෙන යන්නේ. ඒ පරපුර ආදරයෙන් පිරුණු පරපුරක් විදිහට හැදුවොත් එකිනෙකාට වෛර කරන එකිනෙකා එක්ක ඇනකොටා ගන්න පිරිස අඩුවෙයි.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ගෙනෙන

සුවිශේෂී ලිපිය

 

 

[email protected]