වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කන්තෝරු නෝනා

හැන්දෙයි පෑනෙයි ඡේදන ලක්ෂ්යය
කුමාරී දයානන්ද
තෑග්ගක් ලැබෙන්නත් පින තියෙන්න ඕනෙලූ..
එකොළොස්වැනි දින සටහන
අවුරුදු ගාණකට පස්සෙ ඔෆිස් එකේ ඉන්දැද්දි තිස්ස මට හාට් එකක් එව්වා. වට්සැප් එකෙන්. හීනයක්ද ඇත්තක්ද ඒත් නැත්තම් තිස්සට වැරදිලාද කියල බලාගන්ඩත් එක්ක “ ඔයාගෙ ඇණයක් බුරුල් වෙලාද? “ අහල මාත් හැරෙන තැපෑලෙන් උත්තරේ යැවුවා. අනුන්ගේ මිනිස්සුන්ට වෙන ගෑනුයි, අනුන්ගෙ ගෑනුන්ට වෙන මිනිස්සුයි මහ රෑ යක්කු ගස් නඟින වෙලාවෙත් මැසේජ් යවනෙකේ තමුන්නේ මිනිහට මැසේජ් එකක් දාන්ඩ දෙපාරක් හිතන්ඩ ඕනෑයෑ. මට පොඩි සැකේකුත් තිබුණ තිස්සට මාව වෙන එකියකට පැටලිලාද කියලත්. කවුද දන්නෙ තිස්සත් ඔය සමහරු වාගෙ ෆෝන් එකෙන් මල් කඩනවද කියලා. හිමිජ්ජ වාගේ ඉන්න මිනිස්සු කියනවනෙ මල් වතු පිටින් නඩත්තු කරන්නෙ. පුදුමෙ කියන්නෙ මෙන්න හැරෙන තැපෑලෙන්ම තිස්සගෙ උත්තරෙත් ආව.
" ඔයාට මම ගිෆ්ට් එකක් ගත්තා. "
" ගිෆ්ට් එකක්…ඒ මොනවද ? "
" සාරියක්. "
" මොකක් ? "
" ඔව් සාරියක්. ඇයි එපාද ? "
ඒ පාර නම් මට තිස්සගේ ෆෝන් එකෙන් වෙන කවුරු හරි විහිළුවක් කරනවද කියලත් සැක හිතුණා. අන්තිමට කෝල් කරලම තමයි ඇත්ත නැත්ත හොයාගත්තෙ. කිරි එරෙන්නඩත් අඬන්ඩ ඕනෑ කියන්නේ කට කහනවටයෑ. තනියම හිනාවෙන්නෙ මොකද කියල ඔෆිස් එකේ කට්ටියටම සැකේ. මං තිස්සගෙ මැසේජ් එක ඛේමට පෙන්නුවෙ කාටවත් කියන්ඩ එපා කියලමයි. හිතපු විදිහටම පැය භාගෙ යන්ඩ කලින් සාරි කතාව මුළු ඔෆිස් එකේම පත්තු වුණා.
වැඩ ඇරිල එන ගමන් මාර ගස් හන්දියෙ විමලක්කගෙන් ඉඳිආප්ප ගත්තා. හෝටල්වලට වඩා එතැන පිරිසුදුයි. අනික ඉතින් මනුස්සයත් නැතුව දුක් විඳින ගෑනියෙක්ගෙ අතටත් කීයක් හරි යනවනෙ. බිත්තර කිරි හොදි හැදුවෙ ළමයි ආස හින්ද. නයි මිරිස් කරලක් දාල සම්බෝලෙ තැළුවෙ තිස්ස හින්දමයි.
සාරිය වෙඩින් එහෙකට අඳින ජාතියෙ දිලිසෙන එකක් වුණත් එක දවසක් හරි ඔෆිස් නම් ඇඳන් යන්ඩම ඕනෙ. ලයිනින් එකට රෙද්දක් හෙටම අරන් හෝදල දැම්මොත් සෙනසුරාදට මහන්ඩ දුන්නැකි. මං වැඩියෙන්ම හැඩ තද පාට ඇන්දම කියල කවුරුත් කියන බව සාරිය ගනිද්දි තිස්සට මතක් වුණා ද දන්නෑ. මෙව්ව ගැනම හිත හිතා උයන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් මාතින් හොද්දට දෙපාරක් ලුණු වැටෙනවා.
තිස්ස ගෙදර ආවෙ වෙනදටත් වඩා රෑ වෙලා. ඒත් මං වචනයක් කිව්වෙ නෑ. තෑගි ගෙනාපු නම්බුව තියන්ඩෙපෑ. කසාද බැඳපු කාලෙන් පස්සෙ තිස්ස මට තෑග්ගක් ගෙනාවමයි මේ. ඒ කාලෙ වාගෙ තිස්සව බදාගන්ඩ හිතුණත් තේරෙන වයසෙ ළමයි ඉන්දැද්දි ඔය විකාර කළ හැකියැ. ඊටත් ඉතින් එව්ව නම් පස්සෙ බැරියැ. කෑවට පස්සෙ ළමයි දෙන්න කොහොමත් නිදියනවනෙ.
කණ්ණාඩියටත් දෙතුන් පාරක් හිනා වෙලා ඇඳ උඩ ඉඳගෙන හිමින් සීරුවෙ සාරිය කවරෙන් එළියට ගත්තේ කවරෙත් දෙතුන් පාරක්ම ඉඹලයි. මට තිස් තුන්කෝටියක් යක්කු ආවේස වුනේ ඒ සාරිය නාකි ගෑනියෙකුට පොළේ ඇඳන් යන්ඩ තරම්වත් පෙනුමක් නැති හන්දම නෙමෙයි. තිස්සගෙ සාරි තෑග්ග කෝ කියල ඔෆිස් එකේ කට්ටිය අහද්දි පෙන්නන්ඩ එකක් නැති හන්දයි. තමන් ආදරේ කරන මිනිහගෙන් තමන් ආස විදිහෙ තෑග්ගක් ගන්ඩත් හැම ගෑනිටම පින නෑ.