ලොකු ඉස්කෝලේ මහත්තයා

කෙටි නවකතාව-(පළමු කොටස)
මාර්තු 24, 2025

 

සිරිදාස ඉස්කෝලෙ මහත්තයයි, කුසුමලතා ඉස්කෝලෙ හාමිනෙයි, ගමෙන් පිට ඈත දුෂ්කර පළාත්වල අවුරුදු ගාණක් සේවය කළාට පස්සෙ තමයි උපන් ගමට ආවේ. දෙන්නම ආධුනික ගුරුවරුන් වශයෙන් අවුරුදු ගාණක් සේවය කළේ, ගුරුහෙළ, එප්පාවල, මොණරාගල කන්දකැටිය, නුවරඑළිය වගේ පළාත්වල දුෂ්කරම ඉස්කෝලවලයි. වසර ගණනක් දුෂ්කර සේවයෙන් පසු දෙන්නාටම උපන් ගමේ පාසලට මාරුවීම් ලැබිලා ඇවිත් දැන් අවුරුදු දොළහක් විතර වෙනවා. ගමේ පාසලට ආ දා පටන් සිරිදාස ලොකු ඉස්කෝලෙ මහත්තයි, නෝනයි වැඩ කළේ නව පණක් ලැබුණා වගෙයි.

 

එක්තරා දවසක උදේ පාන්දර සිරිදාස මහත්තයා ටවුමේ අධ්‍යාපන කාර්යාලයට ගියේ ඉස්කෝලෙ හාමිනේගෙයි, තමන්ගෙයි මාසෙ පඩිය ගන්න..

අධ්‍යාපන කන්තෝරුවෙන් දැන ගන්න ලැබුණේ පළවෙනිදා ඉඳලා තමන් දෙදෙනාව විශ්‍රාම ගන්වා ඇති බවයි.!

 

සිරිදාස මහත්තයට හිතාගන්න බෑ, මොකද වුණේ කියලාවත්. තමන්ට අවු. 55 පිරුණා කියලාවත් ඔහුට කල්පනාවක් තිබුණෙ නෑ.!

 

ලොකු කල්පනාවකින් බස් නැවතුමට ආ සිරිදාස මහතා හිස් අතින්ම ගමට යන බසයකට නැග්ගා. මේ මාසෙ පොඩි තුන් දෙනාගෙ බෝඩිම් ගාස්තු ගෙවන්නෙ කොහොමද කියලයි සිරිදාස මහත්තයගෙ ඔළුවෙ වැඩකළේ.

 

තුන්දෙනාම නැවතිලා හිටියෙ බෝඩිමේ නිසා ගෙදර හිටියේ සිරිදාස ඉස්කෝලෙ මහත්තයයි කුසුමලතා නෝනයි විතරයි. මාසෙ අන්තිමට ළමයි ටික දකිනකල් ඉස්කෝලෙ හාමිනේට ඉවසිල්ලක් නෑ. ! විශ්‍රාම වැටුප හදා ගන්න කල් පොඩි එවුන්ගෙ වියදම් ටික හොයා ගන්නෙ කොහොමද කියන එක නම් සිරිදාස මහත්තයගෙ හිතට වද දුන්නා.

 

වත්ත පිටියෙ අල බතල හා එළවළු වගාවෙන් කෑම වියදම පිරිමහ ගන්න පුළුවන් වුණත් උසස්පෙළ පන්තිවල හිටපු දරුවො දෙන්නගෙයි, කාර්මික විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවගෙයි වියදම් දරාගන්නෙ කොහොමද කියන බර ඔළුවෙ තියාගෙනයි සිරිදාස මහත්තයා එදා හවස ගෙදර ආවේ.

 

වෙනදා පඩි අරන් ලොකු බෑග් එකක් පිරෙන්න බඩු අරන් එන ඉස්කෝලෙ මහත්තයා අද ඔළුවත් බරකරගෙන හිස් අතින් එන හැටි බලාගෙන හිටපු ඉස්කෝලෙ හාමිනේ මිදුලට බැස්සා.

 

"පළවෙනිදා ඉඳලා අපි දෙන්න පෙන්ෂන් යවලා..!"

 

සිරිදාස මහත්තයා හිනාවෙවී කිව්වා.

 

“ලියුමක් වත් ආවෙ නෑනෙ නේද?”

 

කුසුමලතා නෝනා ඇහුවා.

 

“හ්ම් !”

 

කතා නැතිව ගෙට ගිය සිරිදාස මහත්තයා ජාතික ඇඳුම ගලවලා අයින් කරලා ගෙදරට අඳින සරම ඇඳගෙන ඉස්තෝප්පුවෙ දිග

 

බංකුවෙ ඉඳ ගත්තේ ඉස්කෝලෙ හාමිනේ තේ එක ගේනකල්. දෙන්නම කහට එක බීලා කෙළින්ම ගියේ වත්ත පල්ලෙහාට. රෑ වෙනකල්ම දෙන්නා ඉරිඟු පැළවලට, බටු පැළවලට පෝර පස් දැම්මා. ඉරිඟු ගස්වල මල් පිපෙන්න ළඟයි දැන්. සමහර පඳුරුවල මල් එක දෙක හිනාවෙනවා.

 

කුරහන් කිරි වැදෙනවා බලා හිටිය ඉස්කෝලෙ හාමිනේට හිනාවකුත් ආවා.ඒ දෙන්නගෙම මහන්සිය වතුරෙ ගිහින් නෑ. කරුවල වැටෙන කොට ගෙට ආව කුසුමලතා නෝනා දෙන්නට රෑට කන්න රොටී දෙකක් හැදුවා. උම්බලකඩ යහමින් දාපු ලුණුමිරිස් එක්ක රොටී කන්න ඒ දවස්වල ඉඳලාම සිරිදාස මහත්තයා කැමතියි.

 

වත්ත පහළ උල්පතෙන් මූණ කට හෝදාගෙන ආපු සිරිදාස මහත්තයා පැට්‍රෝල් ලාම්පුවට තෙල් දාලා පත්තු කරලා ඉස්තෝප්පුවෙන් එල්ලුවා. මිදුලෙන් බාගයක් දුරට ලාම්පු එළිය විහිදුණා. ඒ එළිය දැකපු කුසුමලතා නෝනගෙ හිත අතීතයට දිව්වෙ නොදැනීම...ළමයි පොඩි කාලෙ රෑට මිදුලෙ අඹ ගහ යට ඉඳගෙන මහත්තයා මැඩ්ලින් එක ගහපු හැටිත්,පොඩි එවුන් සිංදු කියපු හැටිත් මතක්වෙලා ඉස්කෝලෙ නෝනාට හිනා.

 

සිරිදාස ඉස්කෝලෙ මහත්තයා බොහොම අරපිරිමැස්මෙනුයි වැඩ කළේ. දරුවන්ගෙ

අධ්‍යාපන වියදම් එක්ක ගුරු පඩියකින් ජීවත් වෙන්න අමාරුයි. හවසට ඉස්කෝලෙ ඇරිලා ආ ගමන් කෑම කාල ටිකක් විවේකයෙන් ඉඳලා උදැල්ලත්, කැත්තත් අරන් වත්තට යන දෙන්නම ගෙදර එන්නෙ හවස් වෙලා.

 

වත්ත පුරාම අල, බතල, මිරිස්, මුංඇට, කව්පි හිටවලා තිබුණා. ඉස්කෝලෙ හාමිනේගෙ අත්ගුණේට හැමදේම සරුවට හැදෙනවා කියලයි සිරිදාස මහත්තයා නිතර කිව්වෙ.වත්තේ සරුවට හැදෙන අල, බතල, වට්ටක්කා ගමේ ගෙවල්වලටත් දෙන්න එක්ක බෙදුවෙ හරි සතුටෙන්.

 

සිරිදාස ඉස්කෝලෙ මහත්තයාගෙයි, නෝනගෙයි විශ්‍රාම යාමේ උත්සවය ගමේ අය එකතුවෙලා මහ ඉහළින් පැවැත්වූවා. මහපාරේ ඉඳලා ඉස්කෝලෙට යනකම්, උඩරට පහතරට නැටුම් කණ්ඩායම්වලින් තමයි දෙන්නාවම ඉස්කෝලෙ රැස්වීම් ශාලාවට එක්ක ආවේ.

 

ශාලාව පිරෙන්න ගමේ අය ඇවිත් හිටියා. ශාලාවෙ වේදිකාවෙ අසුන් ගත් ගුරු යුවළට පාසලේ සියලුම ළමෝ ඇවිත් බුලත් අත් දීල වැන්දා. හැමෝගෙම ඇස් රතු වෙලා. සමහර ළමයින්ගෙ මූණු පුරා කඳුළු පැල්ලම්!

 

කුසුමලතා ඉස්කෝලෙ හාමිනේගෙන් නැටුම්, සංගීතය ඉගෙන ගත්තු ගෝලයො ටිකක්

වේදිකාවෙ ඉදිරිපත් කරපු බොහොම ලස්සන පිළිගැනීමේ නර්තනයයි, පිළිගැනීමේ ගීයයි අහගෙන, බලාගෙන හිටපු හැමෝම හයියෙන් අත්පොළසන් දුන්නා. හාමිනේගෙ ඇස්වල සතුටු කඳුළු පිරිලා උත්සව සභාවේ මුලින්ම කතා කළේ පළාතේ මන්ත්‍රීතුමා.

 

මන්ත්‍රීතුමා, පාසලේ අඩුපාඩු සපුරාගන්න සිරිදාස ඉස්කෝලෙ මොනතරම් උත්සාහයක් දැරුවද කියල තමන් දන්නා බවත්, ඉස්කෝලෙට ඕනි ගුරුවරු ටිකයි, වෙනත් උපකරණයි, ලබාගන්න කල්ම තමන්ට කරදර කරන එක සිරිදාස මහත්තයා නැවැත්තුවෙ නෑ කියලා කිව්වෙ හිනාවෙවී.

 

විදුහල්පතිතුමාගෙ උත්සාහය නොවෙන්නට මේ පාසල වැහිලා යන්නත් තිබුණ කියලයි මන්ත්‍රීතුමා කිව්වෙ..! වැසී යන්නට තිබුණු පාසලක් අද කලාපයේ ජනප්‍රිය පාසලක් වී තිබීම ගැන තමන් මහත් සේ ආඩම්බර වන බව පැවසූ මන්ත්‍රීතුමා මේ දියුණුවේ පෙරගමන්කරුවා සිරිදාස මහත්මා බව පැවසුවේ අත්පොළසන් හඬ මැදයි.

 

උත්සවයට ඇවිත් හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සභාව අමතමින් බොහොම වටිනා කතාවක් කළා.

 

මේ විදුහල්පතිතුමා තරම් දක්ෂ, කාර්යශූර, විදුහල්පතිවරයෙකු තමන්ගෙ සේවා කාලයේදී තමන්ට මුණගැසී නැති බවත්, සිසුන් පනහක්වත් නොසිටි පාසලක්, සිසුන් දහසකට ආසන්නව ඉගෙනුම ලබන පාසලක් බවට අද පත්ව ඇත්තේ විදුහල්පති තුමන්ගේ කැපවීම හා උත්සාහය නිසාම බවත් ඔහු පැවසුවේ ප්‍රශංසා මුඛයෙනි.

 

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැදපතන විදුහලෙන් දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූයේ, මෙතුමා පැමිණි පසුව බවත් පැවසූ අධ්‍යක්ෂතුමා එහි පූර්ණ ගෞරවය මේ දෙපළට හිමිවිය යුතු බවත් පැවසීය.

 

දිගින් දිගටම පාසලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ ගිය අතර අද වන විට ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් මෙම විදුහල කලාපයේ ප්‍රථම ස්ථානයට පත්වී ඇත්තේ සිරිදාස මහතාගෙ කැපවීම හා මඟ පෙන්වීම් නිසාම බව අත්පොළසන් හඬ මැද එතුමා සඳහන් කළේය.

නැටුම් හා සංගීත ගුරුවරුන් නොසිටි කාලයේදී පවා විදුහල්පතිතුමන්ගේ හා එම මැතිනියගේ ඉගැන්වීම් හා පුහුණුව නිසාම මෙම විදුහලේ දරුවන්, කලාප තරගවලදී නැටුම් හා සංගීත අංශයෙන් ජයග්‍රහණ රැසක් ලැබූ බව පැවසූ අධ්‍යක්ෂතුමා, විදුහල්පතිවරයා කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයේදිත් හොඳ නැට්ටුවෙක් වී සිටි බව පැවසුවේ සභාව සිනා ගන්වමිනි.

ලබන සතියේ හමුවෙමු