වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඩවුන් සින්ඩ්‍රෝම් දරුවකුගේ අම්මා කරන හෙළිදරව්වක්

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය මේ මස අගට යෙදී තිබේ. මේ ඒ වෙනුවෙන් තැබෙන සටහනකි.
කුරුලු කූඩුවකට පුංචි පැංචියෙක් එකතු වෙද්දී ඒ අම්මට තාත්තට දැනෙන සතුට සොම්නස විග්රහ කරන්න වදන් නැහැ. අද අපේ කතාබහට ලක්වන මේ කැදැල්ලේ දියණියක් සිටින පවුලකට තවත් දියණියක් එකතු වෙනවා.
අම්මයි තාත්තයි පුංචි මල්ලියෙක් ගේන්න හිතුවත් ගේන්නේ පුංචි නංගියෙක්ව. නංගිගේ සුරතල් බලන්න චූටි අක්කියා ආස වුණා. නංගි ලොකු වුණාම අපි දෙන්නට බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. කාමරයේ එකම ඇඳක නිදාගන්නට පුළුවන්. හරියට නිවුන්නු වගේ එකම විදිහට ඇඳගෙන යන්න පුළුවන්. චූටි අක්කියා එහෙම හිතනවා.
චූටිදෝණි කුස තුළ තියාන සිටියදී ඇගේ මවට කිසිදු වෙනසක් දැනුණේ නැහැ. සාමාන්‍ය ගැබිනියක් ලෙස ඇය මුළු මාස නවයම ගත කළා. වෛද්‍යවරුන් ලබා දුන් නියමිත දිනවලදීම දරුවා මෙලොව එළිය දුටුවා. රෝස මලක් වගේ පුංචි පැටික්කියෙක්ව අතට දෙද්දී හිතට දැනුණු හැඟීම් විස්තර කරන්නේ කොහොමද? උපතේදී සාමාන්‍ය දරුවෙක් වෛද්‍ය නිර්දේශය වුණේ එහෙම.
පුංචි බිලිඳියට වයස මාස 2ක් පමණ ගතවෙද්දි දැරියගේ විවිධ ගැටලුකාරී තත්ත්ව හඳුනාගන්නට පටන් ගන්නවා. විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගියපු ඔවුන්ට වෛද්‍යවරුන් කෙරෙන් අසන්නට ලැබුණේ මෙලොව කිසිදු මාපියකුට දරුවකු පිළිබඳ ඇසිය නො යුතු අන්දමේ පුවතකි. "මේ දැරිවිය ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ පසුවනවා".
දෙවියනි, ඇයි අපිට දෛවය මේ තරම්ම අකාරුණික වුණේ. ඕනෑම මවක් තම කුසහොත් දරුවා පිළිබඳ දහසකුත් එකක් බලාපොරොත්තු තබයි. ගැබිනි මවකගේ එකම ප්‍රාර්ථනය නිදුක් නීරෝගි දරුවෙකි. එහෙත් අපේ දරු පැටියට ඇයි මෙහෙම වුණේ.
මේ දැරිවිය දැන් අවුරුදු විසි හතක තරුණියකි.
ස්කෑන් පරීක්ෂණ
දැන් තරම්ම ස්කෑන් පරීක්ෂණ ජනප්‍රිය නොවුණු කාලයක්. ගැබිනි විය සාමාන්‍ය ලෙස ගතවුණු නිසාත් කිසිසේත්ම ගැටලුකාරී එකක් නොවුණු නිසාත්, වෛද්‍යවරුන් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතු බවට නිර්දේශ කළේ නැහැ.
දැරියට වයස මාස දෙකක් පමණ ගතවද්දි ඇය කෙරෙන් යම් යම් වෙනස්කම් මතුවන්නට වුණා. පුංචි බිලිඳිය සාමාන්‍ය බිලිඳියක් නොවන බව මාපියන්ට වැටහෙන්නට වුණා. ඔවුන්ගේ සිතට නිරන්තරයෙන්ම ආයේ වැඩිමහල් දියණියගේ බාල කාලයයි. බිලිඳියක ලෙස ඇය සිටි කාලයත්, බාල දියණියගේ බාල කාලයත් අතර සපුරා වෙනස්කම් ඇති බව ඔවුන්ට අවබෝධ වූවා.
වෛද්‍යවරුන්ගේ දැනුම්වත් කිරීම
ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරමින් විරල ලෙස මෙවැනි දරුවන් බිහිවන බව වෛද්‍යවරුන් පවසන්නට වුණා.
මතක ආවර්ජනය
අවුරුදු 27ක් ආපස්සට ගොස් මතකය ආවර්ජනය කරද්දී මේ දැරියගේ මව ගතකරන්නට වූයේ ඉතාමත් කටුක මානසික ව්‍යාකූලත්වයෙන් සපිරි ජීවිතයකි. මවක් ලෙස ඇයට මේ අභියෝගය කිසිසේත්ම මඟහැර යන්නට බෑ. ඊට මුහුණ දීම සඳහා දැඩි අධිෂ්ඨානයකට, සිත ශක්තිමත් කිරීමකට එළඹෙන්නට වූවා. නිරන්තරයෙන්ම ඇගේ සිත කීවේ මේ දරුවා සාමාන්‍ය දරුවකු ලෙසම ගොඩනඟා ගතයුතු බවයි. දරුවාගේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් සුවපත් කොට මානසික ආතතියෙන් තොරව ධෛර්යවන්තව ජීවත්වීම සඳහා ඇයව නොයෙකුත් වෛද්‍යවරුන් හමුවීමට, මනස සුවපත් කරන ස්ථානවලට යන්නට වූවා.
වරක් ඇය දරුවාද අතැතිව යොමු වන්නේ නොමිලයේ සේවය සපයන ශිරාණි ජෝසප් ද සේරම පදනම වෙතයි. ඥාති සොයුරකුගේ මාර්ගයෙන් ඇය ඒ සඳහා යොමුවනවා. පිහිටක් අවැසිම මොහොතක අඳුරු වලාවන්ගෙන් වැසුණු ජීවිතයට ආලෝකයක් ගෙන දෙන්නට එය මහඟු අස්වැසිල්ලක් වූවා.
" ඔවුන්ගේ බලවත් උත්සාහය කැපවීම සහ ආදරණීය බව නිසා අද මගේ දියණියට සමාජයේ ගෞරවණීය ලෙස හැසිරීමට, අන් අය හා එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. කුඩා කල සිටම කථන හැකියාව පුරුදු කළ නිසා ඇයට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවද ලැබී තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් මෙම පදනම කරන නිහඬ සේවය අගය කරන්නට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. අපට පිහිට වුණේ මෙම ආයතනයේ පුහුණුකාරිනියක් වන උදාරා වික්‍රමසිංහ මහත්මියයි.
ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ පසුවන දරුවකු දෙස සාමාන්‍ය දරුවකු සේ බලන්නට හුරුවිය යුතුයි. වැදගත්ම දේ සිත ශක්තිමත් කර ගැනීම. කිසිම විටෙකදී මානසිකව කඩා වැටෙන්නට හොඳ නෑ. මෙවැනි දරුවන් සඳහා පිහිටක් පිළිසරණක් වන ආයතන තිබෙනවා. බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ අඩු දැනුම්වත් බවක්. මාපියන්ට, පවුලේ සෙසු සාමාජිකයන්ට අවනත වන පරිදි දරුවා කායිකවත් මානසිකවත් වැඩෙන්නට දීම වැදගත්. කුඩා කාලයේදී මේ ලැබෙන මඟපෙන්වීම දරුවා බෙහෙවින්ම කීකරු, නම්‍යශීලී අයකු බවට පත් කරවනවා. කලහකාරී ආක්‍රමණශීලී බවක් දරුවන් කෙරෙන් දිස්වන්නේ නිසි මඟ පෙන්වීම නොමැති විටයි.
විශේෂ ස්තුතිය :
ශිරාණි ජෝසප් ද සේරම පදනමට