වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවසන් කාලය

ආදරණීය පුතේ,
මම මේ මුහුණු පොතේ දැකපු එකක් නිසා ඒ ගැන කියන්න හිතුවා. හැබැයි ඉතින් ඔයා එහෙමයි කියලා හිතලා නෙවෙයි. එහෙම අයත් ඉන්න නිසා මේ ලෝකයේ. මම මේ ඔයාට ලියන්නේ ඒ වගේ අය හිටියොත් මේ කතාවේ යාළුවා වගේ වෙන්නයි. ඉතින් කතාව මේකයි.
සිංගප්පූරුවේ හිටියා ලොකු ව්‍යාපාරිකයෙක්. එයාගේ බිරියත් එක්ක මහන්සි වෙලා තමා මේ සුවිශාල ව්‍යාපාරය ගොඩනැඟුවේ. ඔහුට හිටියෙත් බොහොම හොඳ මිතුරන් කීප දෙනෙක් විතරයි.
මේ දෙන්නට එකම එක දරුවයි උන්නේ. එයාට හොඳට ඉගැන්නුවා. පස්සේ ව්‍යාපාරයේම වැඩ කරන්න පත් කළා. කාලයක් යද්දි මේ ව්‍යාපාරිකයාගේ බිරිය මියගියා. ඊට පස්සේ ඔහු තනි වුණා වගේ වුණා. මේ නිසා පුතාට හොඳ පවුලකින් කසාදයක් කරලා දුන්නා. දැන් පුතා ව්‍යාපාරය හොඳට කරගෙන යනවා. මේ නිසා තාත්තා සියල්ලම පුතාගේ නමට පවරලා නිවෙසට වෙලා විවේකයෙන් ඉන්න පුරුදු වුණා. මෙහෙම කලක් යද්දි දවසක පුතාගේ බිරියගෙ කතාබස් නිසා පුතා තාත්තා එක්ක අමනාප වෙලා තාත්තාව ගෙදරින් පන්නා ගත්තා. ඉතින් අසරණ වූ මහලු මිනිසා වීදියට වැටුණා. මෙහෙම යාචකයෙක් වෙලා ඉද්දි දවසක් ඒ අසල ඇති ලොකුම ව්‍යාපාරයක් හිමි අයෙක් මොහුව දැක්කා.
‘අපොයි මේ මගේ මිත්‍රයානෙ..’ කියලා ගිහින් එක්ක ඇවිත් පිරිසුදු කරලා, අලුත් ඇඳුම් අන්දලා විස්තර ඇහැව්වා. මහලු මනුස්සයා සියල්ලම කිව්වා. මේ පුවත සිංගප්පූරුවේ ලීක්වාන්යූ අගමැතිවරයාටත් ආරංචි වුණා. මොකද ඔහු විශාල ව්‍යාපාරිකයන් ගැන අවදියෙන් සිටියේ. ඒ අය රටට කරන සේවය නිසා.
අගමැතිට ඇත්තටම ලොකු කේන්තියක් ආවා. ඔහු රටේ ඉන්න හෙඳම නීතිඥයන් කීපදෙනෙක්ට කතා කරලා මේ දේපොළ සියල්ල ආපසු පුතාගෙන් තාත්තාට හරවා දෙන්න කියලා ඉල්ලිමක් කළා. ඉන්පස්සේ වැඩිහිටියන්ගේ දේපොළ ඔවුන් ජීවත්ව ඉද්දී දරුවන්ට පවරන එක නීතියක් මඟින් නැවැත්තුවා කියලයි කියන්නේ. සමහරවිට අතිශයෝක්තියෙන් කියන කතාවක්ද දන්නෙත් නෑ. කොහොම වුණත් මේ කතාවෙ තියෙනවා වරින්වර අපේ රටෙත් ඇහෙන ඛේදවාචකවල නිමිති.
පුතා වුණත් දැකලා ඇති සමහර පුතාලා, දුවලා වයසක අම්මාව, තාත්තාව බස්හෝල්ට්වල දාලා ගිය අවස්ථාවන්. මවුපියන්ගේද, දරුවන්ගේද වරද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් එකක් දන්නවා. මවුපියො වයසට යද්දී තමන් ගැන දරුවන්ගේ ඇති සැලකිල්ල ගැන නිතරම බලාපොරොත්තු වෙනවා. බොහොම ටික දෙනෙක් තමා එහෙම නොවන්නේ. ඒකට හිත හයිය තියෙන්න ඕනේ. වෙලාවකට මට හිතෙනවා මේ වැඩිහිටි නිවාස සංකල්පය නරකම නෑ කියලා. මොකද අවසන් කාලයේ තමන්ගේම වයසෙ අයත් එක්ක කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කතා කරන්න හේතුත් ඇති වෙනවා. එහෙම ඉන්නකොට පාළුවක් නෑ. අර තනියම තමන්ගේම ගෙදරනෙ කියලා ඉන්න ගියාම තමා තනිවෙන්නේ කොටුවෙන්නෙ. ඒකෙන් මිදෙන්න පුළුවන් වැඩිහිටි නිවාසවලදි.
හැබැයි ඉතින් මොන විදියට දරුවන්ට කතා කළත් බැන්නත් සැර වුණත් ‘වයසට ගියාම ඔහොම තමා’ කියලා හිතලා දෙමාපියන් බලා ගන්නා දරුවනුත් ඕනෙ තරම් අපේ රටවල ඉන්නවා.
කොහොම වුණත් ඇතැම් දරුවෝ එවන් අකටයුතුකම් කරනවා. ඒ සමහර වෙලාවට වයසක මවුපියන්ගෙ රළු වැඩ නිසා වෙන්නත් පුළුවන්. අපි එහෙම අයත් දකිනවානෙ. ඒකයි මවුපියනුත් තමන්ගේ යුතුකම් මැනවින් ඉටු කරලා දරුවෝ එක්ක ජීවත් වෙන්නත් දැන ගන්න ඕනේ කියලා කියන්නේ. ඇතැම් මවුපියන් ඉන්නවා දරුවන්ටත් එක එක්කෙනාට වෙන වෙනම විශේෂත්වයක් කරන.
සමහර අය ඉන්නවා දරුවො, දරුවො අතරෙම ප්‍රශ්න ගැටලු ඇති කරන. ඒ විදියට වුණාමත් ඉතින් අනේ දෙමාපියොනෙ කියලා බලන සීමාවක් ඇතිවෙන්න පුළුවන්. මොකද දරුවො වුණත් මිනිස්සුනෙ.
අප්පච්චි