රටට ණය නොවී වෙඩින් එක ගමු

මැයි 5, 2025

 

ඔබේ ජීවිතයේ සොඳුරුතම දිනය මංගල දිනයයි. එබැවින් මංගල දිනය අමරණීයම ලෙසින් හැඩ කරගන්නට කොයි කවුරුත් කැමැත්තක් දක්වයි. ඒ නිසාම ඇතැමුන් තමන් මුළු ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරගත්තු මුදල් විය පැහැදම් කරන්නට දෙපාරක් සිතන්නේ නැහැ. ඒ වගේමයි අතේ මුදලක් නැතිනම් ණය වී හෝ තම මංගල උත්සවය අති උත්කර්ෂවක් අන්දමින් පැවැත්වීමට කටයුතු කරයි.

 

එහෙත් ඔබේ ජීවිතයේ ලස්සනම දිනය පසුකාලීනව වේදනාවකට පාර තැනූ දිනයක් කරගන්නට ඔබ කැමතිද? තමා ජීවිත කාලයක් පුරා අරපිරිමැස්මෙන් එකතු කළ සියලු මුදල් එක් දිනයකදී වියදම් නොකර වගේම ණය ගෙන ජීවිතයේ හොඳම කාලේ ණය ගෙවමින් දුක් නොවිඳීමට නම් මංගල දිනය හොඳින් සැලසුම් කරගත යුතුයි.

 

මුළු ලෝකයටම බලපාපු කොවිඩ් වසංගතය හමුවේ අපේ රටටත් ලොකු ආර්ථික හානියකට මුහුණපාන්නට සිද්ධ වුණා.

මේ වන විට සෑම දෙයකම අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බැවින් මංගල උත්සවයක් පැවැත්වීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

 

නමුත් සකසුරු වෙමින් හොඳින් හිතා බලා අවම වියදමින් සොඳුරු මංගල උත්සවයක් පැවැත්විය හැකියි. මංගල උත්සවයට දින තීරණය කරගත් පසුව තමාගේ වැඩිහිටියන්, මිතුරන් සමඟින් මංගල උලෙළ සැලසුම් කරගන්න. මිතුරු මිතුරියන්ගෙන් ඔවුනගේ අත්දැකීම් ආදිය ඔබේ මංගල උත්සවය සැලසුම් කිරීමේදී යොදා ගත හැකියි. මේ වන විට මංගල උත්සවය දින දෙකකට සිදුනොකර එක් දිනක පමණක් පැවැත්වීම බොහෝ වටිනා ප්‍රවණතාවකි. ඉන් ඔබට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන්.

 

එසේම ඔබේ විවාහයට ඇරයුම් කළ යුත්තේ අත්‍යවශ්‍යම වූ සුළු පිරිසකට පමණයි. ඔබට සැබැවින්ම සුබපතන්නන්ට පමණයි. එහිදී ළඟම ඥාතීන්, ළඟින්ම ඇසුරු කරන මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් ආදී ලෙසින් ඉතාම හිතවත් අතළොස්සක් තෝරා ගැනීම ඔබට පහසුවක්. ආරාධනා පත්‍ර සැකසීමේදී අඩුම වියදමකින් ලස්සනට මංගල ආරාධනා පත්‍රයක් ඔබට සැලසුම් කළ හැකියි. පිටකොටුවේ මැලිබන් වීදියේ ඇති මංගල ආරාධනා පත්‍ර සකසන කඩවලට ගොස් ඔබේ වියදමට ගැළපෙන ආරාධනා පත්‍රයක් සපයා ගත හැකියි.

ඇතැම් විට අද කාලේ නම් ආරාධනා පත්‍රයක් අත්‍යවශ්‍යම ද කියන එකත් සිතා බලන්න පුළුවන්. ඒ කියන්නේ අද කාලයේ සෑම දෙනෙක්ම පාහේ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන බැවින් ඔබට ඊ කාඩ්පතක ඩිජිටල් මංගල ඇරයුම් පතක් ලෙසින් සකසා එය වට්ස්ඇප්, වයිබර් වැනි අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම සිදු කළ හැකියි.

 

වැඩිහිටි ඥාතීන් හෝ සාමාන්‍ය ඇරයුම් පතක් ලබා දිය යුතු අත්‍යවශ්‍යම කිහිප දෙනෙකුට පමණක් එවැනි ආරාධනා පත් සීමිත සංඛ්‍යාවක් ඔබට සකසා ගැනීමෙන් වියදම අඩු කර ගත හැකියි.

 

ඔබේ ඉතාම හිතවත් විවිධ දක්ෂතා ඇති මිතුරු මිතුරියන් සිටී නම් ඔවුනගේ උදව් ලබා ගැනීමට මේ හොඳම මොහොතයි. මනාලියන් හැඩගන්වන රූපලාවන්‍ය ශිල්පිනියන්, D.J කරන ශිල්පීන්, මල් සැකසුම් කළ හැකි මිතුරු මිතුරියන්, ඡායාරූප ශිල්පීන් වැනි අයගේ සහාය ඔබට මේ අවස්ථාවේදී ලබාගත හැකියි.

එවැනි මිතුරන්ට ඔබට දෙන මංගල ත්‍යාගය ලෙස ඔවුන්ගේ දක්ෂතාවයෙන් කළ හැකි උදව්ව හෝ වට්ටමක් සහිතව ඔවුන්ගේ සැපයුම ලබාදීම ඔබට වියදම අඩු කර ගැනීමට හොඳම දෙයකි. එය සුහදව ඔවුන් සමඟ සාකච්ඡා කර බලන්න.

 

ඇඳුම් පැලඳුම් තේරීමේදී ඉතා චාම් සුන්දර වැඩි මුදලක් වැය නොවන ආකාරයේ ඇඳුම් පැලඳුම් තෝරා ගන්න.

 

එහිදී ඔබට ඔබගේ සොයුරියගේ ඔබගේ හොඳම යෙහෙළියගේ මංගල සාරිය ගැළපේ නම් එය තෝරා ගත හැකියි. එය මදිපුංචිකමක් ලෙස නොසිතා නුවණක්කාරකමක් ලෙසින් සිතා බලා කරන්නේ නම් ඉතා වටිනා මුදල් ඉතිරියකි.

 

එසේ නැතිනම් ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු ලවා තමන්ට වියදම් කළ හැකි මුදල ගැන පවසා අවශ්‍ය පරිදි ඇඳුමක් සකසා ගත හැකියි. රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තමා සිටින නගරයේ තමාට ආසන්නයෙන්ම සොයාගන්න. දුර සිටින අයෙකුට ගමන් වියදම් හෝ ප්‍රවාහනය සඳහා විශාල මුදලක් ලබාදීමට සිදුවන නිසා මෙය ඔබට පහසුවක් වේවි. එසේම එම ස්ථානයට යාමට ඉන්ධන සඳහා ද විශාල මුදලක් වැය කළ යුතු වේ. ප්‍රවාහන කටයුතු ගැනත් මේ අවස්ථාවේදී සිතා බැලිය යුතුයි. එය බොහෝ දෙනෙකුට මඟහැරෙන කාරණයකි.

 

ගොයිං අවේ (Going away) ලෙස සැරසෙන මනාලියට එම ඇඳුම් පැලඳුම් හා හැඩ ගැන්වීමට යන මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඉතුරු කර ගත හැකියි. මංගල දිනයේ මනාලියක් ලෙසම පිටව යාම වඩාත් සතුටු සොඳුරු දසුනකි. එම නිසා කාලය හා මුදල් නාස්ති වෙන මේ කොටස මඟ හැරීම ඔබට විශාල පහසුවක් සලසාවි.

 

එමෙන්ම දෙවැනි මනාල මනාලියන් හා මල් කුමර කුමරියන් සීමා කරන්න. අද දවසේ මල් කුමරියන් දෙවැනි මනාලියන් දහ දොළොස් දෙනා ගන්නා අවස්ථා තිබේ. එහෙත් එය හැකි පමණින් සීමා කිරීම නුවණැති කරුණකි. අවශ්‍යම නම් එක් අයෙකු බැගින් පමණක් සූදානම් කරගන්න.

 

සෙටි බැක් හා පෝරුව සඳහා බොහෝ දෙනෙක් ස්වභාවික මල් යොදා ගැනීමට කැමැත්තක් දක්වයි. එහෙත් එය මිල අධික දෙයකි. ඔබට ස්වභාවික මල් ලෙසම පෙනෙන කෘත්‍රිම මල් ඒ සඳහා යොදාගත හැකියි. එසේම කෘත්‍රිම මල් පමණක් යොදා ගැනීමට අකමැති නම් ඔබට මේ සඳහා ස්වාභාවික මල් හා කෘත්‍රිම මල් මිශ්‍රණයකින් මේ සැරසිලි කර ගැනීමට හැකියි.

මේ සැරසිලි කිරීමේදී ඉතාමත් චාම් සැරසිලි ලෙසින් සකසා ගැනීමට මල් සැකසුම් ශිල්පියාට උපදෙස් ලබා දීම වඩාත් සුදුසුයි.

 

අද කාලයේ බොහෝ අය හා මංගල්‍යය සඳහා තේමාවක් තෝරා ගැනීම සිදුකරයි. එය අත්‍යවශ්‍යම කරුණක් නොවේ. එලෙසින් තේමාවන් තෝරා ගන්නේ නම් එය ඉතාමත් සරල තේමාවක් වීමට වග බලා ගන්න.

 

මීළඟට ඔබට වැඩිම වියදමක් යන්නේ මංගල උත්සව ශාලාව වෙනුවෙනි. මේ සඳහා ගෙවත්ත සහ ඇතුළත ඉඩකඩ ඇති හොඳ නිවෙසක් තිබේ නම් ඔබට එම නිවෙසේම මංගල උත්සවය පැවැත්විය හැකියි. අතීතයේදී මංගල උත්සවය සූදානම් කළේ තම නිවෙසෙහිමය. එහෙත් වර්තමානයේ තමා ජීවත්වෙන නිවෙසෙහි ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසාවෙන් විවාහ මංගල්‍යය උත්සව ශාලාවක් වෙත ගොස් ඇත.

 

ආහාර ඇණවුම් කිරීමේදී එකම වර්ගයේ ආහාර කිහිපයක් නොගන්න වග බලා ගත යුතුයි. එවැනි මෙනු අතහැර සරල රසවත් ආහාර මෙනුවක් තෝරා ගන්න. හෝටලයෙන් ඔබට ලබා දෙන මෙනු පමණක් නොවේ. ඔබේ කැමැත්තට අනුව ආහාර තෝරාගත් මෙනුවක් ඔබට ඔවුන්ට ඉදිරිපත් කර සකසා දෙන ලෙස ඉල්ලීමක් කළ හැකියි.

 

හෝටල්වල අතුරුපස විශාල ප්‍රමාණයක් ලබාදෙන බැවින් එවැනි ඇණවුමක් නොකර සාමාන්‍ය සුළු ප්‍රමාණයක් ඇණවුම් කරන්න. එය අනවශ්‍ය වියදම් අවම කර ගැනීමට පහසුවකි.

 

වෙඩින් කේක් එක සඳහා වැඩි වියදමක් යන බැවින් ඒ සඳහා කප් කේක්, ජා කේක්, ගෝල්ඩන් වෙඩින් කේක් තෝරා ගත හැකියි.

 

එමෙන්ම වැඩිම මුදලක් වැය වන මත්පැන් ඔබට වියදම් තීරයෙන් කපා හැරීමට පහසුවෙන්ම හැකියාව තිබේ.

 

ප්‍රී ෂූට් සංස්කෘතිය මෑතකදී ආ දෙයක් නිසා මෙය ඔබට කිසිදු අපහසුවක් නැතිව අත හැරීමට පුළුවන්.

එය කළ යුතුම නම් අමතර ඇඳුම් පැලඳුම් සඳහා වැඩි වියදමක් නොකර තමන්ට තිබෙන දේ භාවිත කරමින් ආසන්නතම ලස්සන ස්ථානයකදී එය අඩු වියදමකින් කළ හැකියි.

 

මේ විදිහකට විවාහ මංගල්‍යයකදී ඔබට යම්කිසි වියදම් ගණනාවක් සිදුවෙන අතර විවාහ මංගල්‍යයේදී යම් ආයෝජනයක්ද සිදු වෙනු ඇත. ඒ ඔබ දෙදෙනාගේම මංගල මුදු හා මනාලියගේ කර මාලයයි. මේ සඳහා ඔබ අත ඉතිරි කරගත් මුදල් වියදම් කළ හැකියි. මේ සඳහා වියදම් වන මුදල් ඔබට ඉතිරි වේ. එය කාලයක් යද්දී වටිනාකම දෙගුණ තෙගුණ වන්නකි. මංගල උලෙළේදී ඔබ දෙදෙනාගෙන්ම අනාගතයට ඇති වටිනාම ඉතිරි කිරීම වන්නේද මෙයයි.

 

අප විවාහ මංගල්‍යයක් පවත්වන්නේ සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කරමින් ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවේදී ඔබත් ඔබේ ළඟම ඥාති මිතුරු මිතුරියනුත් යම්කිසි ප්‍රීතියක් බෙදා ගැනීම අවශ්‍ය බැවිනි.

ඉතින් එය සරල චාම් මංගල්‍යක් නම් ඔබේ සිතට සැනසිල්ලක්ම වේවි.

 

කෙසේ හෝ අනාගතයේ සෝ සුසුම් හෙළමින් ණය ගෙවමින් අරුත්සුන් විවාහ මංගල්‍යයකට වග නොකියන්න ඔබ දෙපොළ වග බලා ගත යුතුයි.