වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කන්තෝරු නෝනා

අනේ මන්දා සමන්තිලා...?
2016 මාර්තු 01, සඳුදා
සමන්තියි, ඩිල්ෂානියි ආවත් හරි දැන් අපේ ඔෆීස් එක නිකම් මෝස්තර නිරූපණ ප්රදර්ශනයක් ගාණයි. හැබෑටම මේ සමන්තිලට සල්ලි උල්පත්වලින් උනනවද මන්දා. එක දවසක් ඇඳපු සාරිය ආයෙ දකින්ඩවත් නෑ. වෙනස්ම වෙනස් අලුත්ම අලුත් සාරියක් ඊළඟ දවසෙ ඇඳන් එනවා. සමන්තිගෙ මිනිහා ලොකු කොම්පැනියක වැඩ කරනවා කිව්වට මට නම් දැන් සැකයි සාරි කඩේකද වැඩ කියලා.
හරි නෙ. සමන්තිගෙ නංගි බැඳපු මනුස්සය අප්සරා සාරි මන්දිරේ මැනේජර්ලුනෙ. එකත් එකටම ඒ කඩේ සාරි ටික තමා සමන්ති පට්ට ගහනව ඇත්තෙ. මොකද ඉතින් දවසට එක ගානෙ ඇඳල ආයි ගිහින් දැම්ම කියලා ඕක හොයන්ඩ පුළුවන් තරමෙ සුළුපටු සාරි කන්දරාවක්යැ සාරි මන්දිරේ තියෙන්නෙ. ඉන්දියාවෙවත් නැතුවැති මහිතෙ ඔය කඩේ තරම් සාරි ගොඩක්.
දවසක් ඔය කඩේට සාරි ගන්ඩ වගේ ගිහින් සාරි වාටිවල මඩ තුත්තිරි වගේ මුකුත් තියෙද කියල බලන්ඩෝනෑ. ඒත් ඉතින් සමන්ති ඔෆිස් එන්නෙ කාර් එකේ හින්ද මඩයි තුත්තිරියි තියෙන්ඩ විදිහකුත් නෑනෙ. හැබැයි සමන්ති දාන සෙන්ට් පවුඩර් කන්දරාවෙ හැටියට එයා ඇඳපු සාරි හේදුවත් සුවඳ නම් එහෙම්මම ඇති. එහෙමයි කියල ඉතින් සාරි මන්දිරේ තියෙන සාරි කන්දරාව ඉඹ ඉඹ බලන්ඩ පුළුවන් කාටද ?
2016 මාර්තු 10, බදාදා
අද නම් ඔලිම්පික් පදක්කමට මීටර් සීය දුවන්නැහැ දුවල දුවල බස්සෙකේ ඉස්සරහ ජනේලයක් අයිනෙ සීට්ටෙකක් අල්ල ගත්තා. නින්ද ගිය අපූරුව කියන්නෙ කල්තියා ඉස්සරහට යන්ඩත් අමතක වුණා.
" බහින තැනට කලින් ඉස්සරහට එන්නැතුව මොන මඟුලක් කරනවද ඕයි. ඉක්මනට බහිනවලා. ඉක්මනට බහිනවලා. මෙතෙන එනව අපිට පව් දෙන්ඩ. "
මං ෆුට් බෝඩ්ඩෙකට අඩිය තිබ්බ විතරයි කොන්ද මාව තල්ලු කරපු පාර බස්සෙක අද්දන්ඩ කලින් එක කකුලක් බිම තියාගත්තෙත් අනූ නමයයි තුන් කාලෙන්. ඇත්තමයි මේ බස් කාරයින්ගෙ විනය ගැන නම් කතා කරලා වැඩක් නෑ. බස්සෙකට නඟිනකොට පෙරාපු රත්තරං වාගෙ දෝතට වඩම්මල නග්ග ගන්නෙ. බහිනකොට අපි බල්ලොවත් නොකන කුණු මාළු ගානයි.