වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කතුන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා රටකරවන තැන කාන්තා බලය

"තොටිල්ල පදවන අත ලොව රජකරවයි" යන්න සිංහල ජන සමාජයේ සුප්‍රකට කියමනකි. එදා මෙදාතුර රාජ්‍ය වංශාවලියේ රට කරවූ කාන්තාවන් පිළිබඳ අපට ඕනෑතරම් අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථාවලදී ඒ වෙනුවෙන් අභීතව සටන් කළ තියුණු තීරණ ගත් කාන්තාවන් ඉතිහාසයේ සිටම තැන් තැන්හිදී අපට හමුවේ.
රාජාවලියෙන් පසුව ක්‍රමානුකූලව වර්ධනය වූ රාජ්යත්රාන්තික පාලනයේ මේ වන විට ප්‍රමුඛස්ථානය බවට පත්ව ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. රාජ්‍යය පිළිබඳ සියලු තීරණ රට පිළිබඳ සියලු පිඹුරුපත් ප්‍රධාන වශයෙන් සැකසෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළදීයි. මෙසේ උත්තරීතර පාර්ලිමේන්තුව බැබළවූ සුදීප්තිමත් කාන්තා චරිත එදා මෙදාතුර අපට හමුවේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු මන්ත්‍රීවරිය ලෙස ඉතිහාසගත වන්නේ ඇඩ්ලින් මොලමුරේ මැතිනියයි. ඉන් ඇරඹි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂීම සංධිස්ථානය ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දී පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියයි. ශ්‍රී ලංකාවේ දේශපාලනික කාන්තාවන්ගේ භූමිකාව අති වර්ණවත් කරමින් ලෝකයේ පළමු අගමැතිනිය ලෙස අභිසෙස් ලැබූ සේම උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තුංග කාන්තා ලකුණක් තැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසුව පාර්ලිමේන්තුවේ හමුවන කාන්තා නියෝජනය බොහෝය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තිබුණේ අවම මට්ටමකය. අවසන් සංගනණයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රි සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. ඉන්පසුව 225න් 12ක් දක්වා එය වර්ධනය විය. 2016 වර්ෂයේදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදී.
ඉන් පසුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට සම්මත විය. මෙය දේශපාලන ඉතිහාසයේදී කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම කාන්තාවන්ගේ ගැටලු සහ ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීමේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්, ඇමැතිවරියන් මෙන්ම අගමැතිවරියන්ද වරින්වර තම පාලන දායකත්වය රට කරවීමට ලබා දීම කාන්තාවන් ලැබූ ජයග්‍රහණයකි.
කාන්තා දිනය නිමිති කර ගනිමින් අද අප කතා බහ කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කාන්තාවන්ගේ එකමුතුව හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිළිබඳය. සමස්ත කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟන මෙම සංසදයෙහි සමස්ත සාමාජිකාවන් ප්‍රමාණය 22කි. මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියන් 22ක්ම මෙහි සාමාජිකාවන් වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය. සියලු පක්ෂවල කාන්තා නියෝජනය මෙසේ එක් වීම කාන්තාවන් වෙනුවෙන් තීරණ ගැනීමේදී වැදගත් සංසිද්ධියකි.
2006 දී ආරම්භ කරන ලද මෙම සංසදය පක්ෂ පාට භේදවලින් තොරව රට කරවන සියලු කාන්තා නියෝජනයන් එක්තැන් කළ සාමූහිකයකි. මෙහි සුවිශේෂීත්වය වන්නේ සියලුම පක්ෂ, ජාතීන්, ආගම් නියෝජනය කරන කාන්තා පිරිස් මෙම සංසදය වටා රොක් වීමයි.
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් වර්තමානයේ පවත්වාගෙන යන මෙම සංසදයේ සභාපති ලෙස සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය සම සභාපති නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල, පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය සම සභාපති සමන්මලී ගුණසිංහ සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස හේමාලි වීරසේකර යන මන්ත්‍රීවරියන් තනතුරු දරති. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගනිමින් අද තරුණී කවරය සරසනු ලබන්නේ ඔවුන්ගේ රුවෙනි. මේ සංසදයේ සියලු දෙනා වෙනුවෙන් ඔවුන් කාන්තාවන්ට ලබා දෙන පණිවිඩයයි. අප නියෝජනය කරන ඔවුන්ගේ හඬ මේ මොහොතේ අපට බොහෝ වටියි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ තරුණී කළ අදහස් විමසීමකි මේ.
අග්‍රාමාත්‍ය,
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
ආචාර්ය හරිනි අමරසූරිය
ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ මොහොතේ අපේ කාන්තාවන්ට මට කියන්න තියෙන්නේ 2024 කියන්නෙ මේ රටේ කාන්තාවන් ඇතුළු බහුතරයක් දෙනා එකට එකතුවෙලා මේ රටේ ඉතිහාසය වෙනස් කළා.
ඉතින් එය වෙනස් කළා විතරක් නෙමෙයි අලුත් ඉතිහාසය ලියන්නත් මැදිහත් වෙන්න ඕනෙ යුගයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒක අතට අරගෙන අපි හැමෝම එකතුවෙලා ඉතිහාසය අලුතින් ලියමු.
අපි සැමවිටම මේ රටේ සමස්ත කාන්තා පරපුරම නියෝජනය කරනවා. අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අලුත් තීන්දු තීරණ ගොඩක් අරන් තියෙනවා. අපේ නව අය වැය තුළත් එකක් දෙකක් වශයෙන් නම් නොකළාට මුළු පද්ධතිය තුළම කාන්තාවන්ගේ වටිනාකම සහ මැදිහත්වීම, ඔවුන්ගේ සහභාගිත්වය වැඩි කරන්න විවිධ අංශවලින් පියවර අරගෙන තියෙනවා. වඩාත්ම වැදගත් දේ කාන්තාවන්ගේ හඬ ආණ්ඩුවේ තීරණ ගන්න ක්‍රියාවලිය තුළ බලපෑමක් කිරීමයි. ඒවගේම අනිවාර්යෙන්ම ගැහැනියට, කාන්තාවට, අපේ තරුණියන්ට බලපාන විදිහට එයාලා ගැන හිතලා තමයි අපි මේ හැමවිටම තීන්දු තීරණ ගන්නෙත්.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය
හේමාලී වීරසේකර
"රටේ ශ්‍රම සම්පතින් 30%ක් තමයි කාන්තාවන් මේ වෙද්දී, ශ්‍රමය සඳහා දායක වෙන්නේ. නමුත් අපේ රටේ කාන්තාවන් 70%කගේ පමණ ශ්‍රමය ගෙදරට සීමා වෙලා තියෙනවා.
ඒ කාන්තා ශ්‍රමය එළියට ගන්න නම් නිවෙසේ ඒ ශ්‍රමය රටට දායක කරගන්න වෙනවා.
ඒ කර්තව්‍යය නිසා කාන්තා අපිටත් විශාල බරක් පැටවිලා තියෙනවා. ඒ වෙනුවෙන් ළමා සහ වැඩිහිටියන් වෙනුවෙන් විවිධ සංකල්පවලින් ඒ ශ්‍රමය රටට දායක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිවෙසේ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකය නඟා සිටුවන්නත් හේතුවක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම ගෙදරක් පවතින්නේ සහ ගෙදරක එකමුතුව සතුට මේ හැමදේම පවතින්නේ කාන්තාව නිසා. ඉතින් කාන්තාව මානසිකව නිදහසේ තියෙන එක සහ ඒ කාන්තාවගේ ආර්ථිකය ගොඩනංවන එක අපේ ප්‍රධාන වගකීම විදිහටයි අපි සලකන්නේ. ඒ වගේම වැඩ කරන කාන්තාව හිංසනයෙන් මුදාගන්න එකත් අපේ වගකීමක් විදිහටයි අපි සලකන්නේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
ඇත්තටම කාන්තා දිනය කියන එක සැමරුමක් නෙවෙයි. ඒක තමයි පළමුවෙනි කාරණය. මොකද ලෝකයේම දුක්විඳින කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් දිනාගන්න සටන් කරපු ඉතිහාසය සිහිකැඳවන දිනයක් තමයි මේ කාන්තා දිනය කියන්නෙ.
එතකොට මේ කාන්තා දිනය ඇතුළේ තියෙන්නෙ තමන්ගේ ශ්‍රමයේ අයිතිය, වැටුපේ අයිතිය, තමන්ගේ නිදහස, දේශපාලන අයිතිවාසිකම් ඉල්ලපු කාන්තාවන්ගේ හඬ. ඉතින් අපි වගේ රටකට ඇත්තටම ඒක හොඳ ආදර්ශයක්. තවමත් වැටුපේ අයිතිය අහිමි කාන්තාවෝ අපේ රටේ ඉන්නවා. ශ්‍රමයේ අයිතිය නැති අය අපේ රටේ ඉන්නවා. ලිංගික හිංසනයට, පීඩාවට පත්වන කාන්තාවෝ, සූරාකෑමට ලක්වන, ආර්ථිකයෙන් පිටමං කරපු, වැඩවලට විතරක් හිරකරපු, සමාජ ජීවිතයක් නැති කාන්තාවෝ අපේ රටේ ඉන්නවා. ඒ හැමදෙනා වෙනුවෙන් මේ දිනයේ දී මම ඉල්ලා සිටින්නේ,
අපි මේ රටේ වගේම මේ ලෝකයේ ස්වාධීන පුරවැසියෝ. මිනිස් ජීවීන්. අපි එකිනෙකාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන, කාන්තාවන්ගේ අයිතිය සුරකින සමාජයක් නිර්මාණය කරගන්න අපි හැමෝම එකා වගේ එළියට එමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. මොකද අපේ කාන්තා සංසදය කියන එකේ පරමාර්ථය වන්නෙත් ඒක. අපි හැමදෙනාම මහජන නියෝජිතවරියන්. විශේෂයෙන්ම අපි පසුගිය කාලයේ 51%ක් වෙච්ච ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඡන්ද බලයෙන් මේ නියෝජනය කරන්න තේරී පත්වී ආවේ. ඉතින් අපිට අනිවාර්ය වගකීමක් තියෙනවා අපේ රටේ මේ දුක් විඳින කාන්තාවන්ගේ ප්‍රශ්න මෙම පරිශ්‍රය තුළදී කතා කරන්න. එතැනදී අපි බලාපොරොත්තු වෙන්නෙ තනි තනිවම එක එක්කෙනාගේ හුදෙකලා සිදුවීම් නෙවෙයි, ඒ තියෙන ප්‍රශ්න සහ අභියෝගවලට සාමූහික පිළිතුරු හොයාගන්න. ඒක වෙනුවෙන් අපි මේ සංසදය හැටියට පෙනී ඉන්නවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපති
සමන්මලී ගු ණසිංහ
"2025 අවුරුද්දේ කාන්තා දිනය විශේෂයි. මොකද අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් නියෝජනය වෙන්නේ මේ 10 වැනි පාර්ලිමේන්තුවෙන්.
ඉතින් අපිට කියන්න පුළුවන් අපේ රටේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න වගේම ඒවාට විසඳුම් ගේන්න පුළුවන් පිරිසක් දැන් අපිත් එක්ක ඉන්නවා කියලා. 2025 අය වැයත් කාන්තාවාදී අය වැයක් කියලා අපිට කියන්න පුළුවන්. හැම වැය ශීර්ෂයක් තුළම කාන්තාවන් සහ ළමයින් පිළිබඳ ඉතා සියුම්ව ස්පර්ශ කරලා ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා.
මේ නව ආණ්ඩුවේ පළමු අය වැයෙන් කාන්තාවන්ට විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ වගේම සමාජයේ විශාල කොටසකට කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විවරවුණු අය වැයක් කියලා මට හඳුන්වන්න පුළුවන්. 2025 ජාත්‍යන්තර කාන්තා දිනය අපේ රටේ උතුර දකුණ, සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලුම කාන්තාවන් එකට එකතු වෙලා සමාජය වෙනස් කිරීමේ අරමුණින් කාන්තා නායකත්වයක් වෙනුවෙන් අරගල කරන්න ඕනේ දිනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මම මෙවර කාන්තා දිනය මල් සැරසිලි දිනයක් කියලා හඳුන්වන්නේ නැහැ. මොකද අපි තවමත් ඉල්ලීම් දිනාගෙන නැහැ. ඒ නිසා මේ කාන්තා දිනයේදී කාන්තාවන් එකට එකතු වෙලා කාන්තාවන් වෙනුවෙන් අරගල කරන්න අපිට සිද්ද වෙනවා. ඉතින් මේ කාන්තා අරගලයෙන් කාන්තාවන්ගේ අනාගතය ඉතාම සුරක්ෂිත වේවි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපති
නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල
හැමෝම කතා කරන්නෙ කාන්තා සවිබල ගැන්වීම ගැන. හැබැයි අපි බලන්න ඕනේ කාන්තාව සවිබල ගන්වන්නේ කොහොමද කියන එක ගැන. අපේ රටේ 51%ක් කාන්තාවන් වුණාට කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය තියෙන්නේ 30% කටයි.
කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන්ව ගෙදර තියලා රැකියාවට යන්න නොහැකි වීම. ඒ වගේ කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එයාලගේ ව්‍යාපාර අරඹන්න අත්වැල් සපයන්න අපි සූදානම්. මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම කාන්තාවන්ට වගේ මම නිතර කියනවා පුංචි පුංචි ව්‍යාපාර පටන් ගන්න කියලා. මොකද කුඩා සහ මධ්‍ය පරිමාණ බොහොමයක් ආයතනවල වැඩි දෙනෙක් කැමැති නැහැ කාන්තාවන්ව රැකියාවලට බඳවා ගන්න. හේතුව තමයි ඔවුන්ට ප්‍රසූත වරප්‍රසාද හිමි වීම. ඉතින් වයස අවුරුදු 20 - 30 අතරේ ඉන්න විරැකියා කාන්තා ප්‍රමාණය ඉතා ඉහළයි. අද කාලයේ නිවෙසේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් එක්කෙනෙක් පමණක් මුදල් ඉපයීම ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි මේ ගැටලු ගැනත් අවධානය යොමු කරලා නිවෙසේ ආර්ථිකය ශක්තිමත් කරන්න කාන්තාවට කරන්න පුළුවන් මොනවද කියලා බලලා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම අපි කරනවා.
සටහන්
චම්පා වරුසප්පෙරුම
විදුමිණි දිසාකරුණා
ඡයාරූප - ශාන් රූපස්සර