ගුණාත්මක බවෙන් ඉහළ හොඳ පොල්තෙල්

මාර්තු 17, 2025

වෙළෙඳපොළේ ගෙඩි පොල්වල මිල පමණක් නොවෙයි පොල්තෙල් මිලත් ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබේ. මෙලෙස ඉහළ යන පොල් මිල හමුවේ මුදලත් ඉතිරි කරගෙන වැඩි කාර්යක්ෂමතාවකින් පොල් පරිභෝජනය කළ හැකි ක්‍රම හා පොල්තෙල් මිලදී ගත හැකි ක්‍රමවේදයක් පොල් සංවර්ධන අධිකාරිය හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳව කතාබහට අප හා එක්වූයේ පොල් සංවර්ධන අධිකාරියේ තත්ත්ව පාලන සහ තත්ත්ව ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අශෝක රාජමන්ත්‍රී මහතාය.

පොල් හිඟයත් සමඟ පොල්තෙල් මිලත් වෙළෙඳපොළේ ඉහළ ගිහින් ඒ සඳහා පිළියමක් නැද්ද?

මේ සඳහා රජය විසින් ආනයනික පොල් මද ගෙන්වීමට අනුමැතිය ලැබී තියෙනවා. එසේ ගෙන්වන පොල් මදවලින් අපි පොල් තෙල් නිෂ්පාදනය කරනවා.

ඒ වගේම පොල්තෙල් මිල ඉහළ යෑමත් සමඟ ව්‍යාජ අයුරින් පොල්තෙල් අලෙවි කිරීම පිළිබඳ සමාජ මතයක් ඇති වී තිබෙනවා. නමුත් ඔබ බුද්ධිමත්ව පොල්තෙල් මිලදී ගැනීම සිදු කරනවා නම් මේ දුරුමහ විශ්වාස කළ යුතු නැහැ.

ගුණාත්මක බවෙන් ඉහළ පිරිසුදු පොල්තෙල්වලින් මුඩු ගඳක් වහනය වන්නේ නැහැ. පොල්තෙල්වල ගුණාත්මකභාවය සොයාගත හැකි සරල ක්‍රමය එයයි. එමෙන්ම පොල්තෙල්වල ගුණාත්මකභාවය පියවි ඇසින් හඳුනාගත නොහැකියි. එනම්, පොල්තෙල්වල වර්ණක, රසායනික ද්‍රව්‍ය, ඇපලටොක්සින් වැනි පිළිකාකාරක අඩංගු දැයි පියවි ඇසට පෙනෙන්නේ නැහැ. ඒ සඳහා රසායනාගාර පරීක්ෂාවක් සිදු කළ යුතුයි. එහෙත් පාරිභෝගිකයන් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා සියලුම පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීම ප්‍රායෝගික නැහැ. ඒ සඳහා සුදුසුම විසඳුම වන්නේ ඇසුරුම් කළ පොල්තෙල් බෝතල් සහ පැකැට් මිලදී ගැනීමට හුරුවීමයි.

එම ඇසුරුම්වල නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය, කල් ඉකුත්වීමේ දිනය ආදී තොරතුරු අඩංගු වන බැවින් නිෂ්පාදනයේ යම් ගැටලුවක් තිබුණොත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාවද පාරිභෝගිකයාට තිබෙනවා. එහෙත් වෙළෙඳපොළේ තිබෙන ඇසුරුම් නොකළ පොල්තෙල් මිලදී ගැනීමේදී මේ වාසිය පරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. යම් හෙයකින් වෙළෙඳපොළෙන් මිලදී ගත් පොල්තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ යම් සැකයක් ඇතිවුවහොත් පොල් සංවර්ධන අධිකාරියේ රසායනාගාරයෙන් එම සාම්පල පරීක්ෂා කරගත හැකියි.

කෙසේ වෙතත් මෙරට වෙළෙඳපොළේ විකිණීමට තිබෙන පොල්තෙල්වලින් 95‌% ක් පමණම ගුණාත්මක බවින් යුතු පොල්තෙල් බවට සහතික විය හැකියි.

 

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක බව සොයන හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?

 

පොල් සංවර්ධන අධිකාරිය සතුව නවීන පහසුකම් සහිත දියුණු රසායනාගාර දෙකක් තිබෙනවා.

1. ක්ෂුද්‍ර ජීව රසායනාගාරය

2. රසායනික රසායනාගාරය

 

ක්ෂුද්‍ර ජීව රසායනාගාරයෙන් සිදු කෙරෙනුයේ ගෙඩි පොල් සහ අගය එකතු කළ නිෂ්පාදන වන පොල් කිරි පැකට්, පිටි කළ පොල්කිරි, පොල් ක්‍රීම් ආදී නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමයි.

රසායනික රසායනාගාරයෙන් මූලිකවම සිදු කෙරෙනුයේ පොල්තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමයි.

එහිදී ප්‍රධාන වශයෙන්ම ආනයනික පිරිපහදු කළ පොල්තෙල්වල ෆාම් හෝ වෙනත් තෙල් වර්ග, ඇපලටොක්සින් වැනි පිළිකාකාරක, වර්ණක, සුවඳකාරක ආදිය අඩංගු දැයි පරීක්ෂාවට ලක් කෙරේ.

දේශීයව නිෂ්පාදනය කරන සියලුම පොල් තෙල් පරීක්ෂාවට ලක් නොකෙරුණත් පාරිභෝගිකයෙකුගේ ඉල්ලීම මත දේශීය පොල්තෙල් වුව රසායනාගාර පරීක්ෂාවට ලක් කළ හැකියි.

ඔබගේ ආයතනයේ නිලධාරි ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයට ද?

පොල් සංවර්ධන අධිකාරියට අයත් පරීක්ෂකවරු, ජ්‍යෙෂ්ඨ පරීක්ෂකවරු කලාපයෙන් කලාපයට රට පුරා තම වගකීම් ඉටු කරනවා. ඔවුන් පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳව දැඩිව අවධානය යොමු කරනවා. එමෙන්ම එම නිෂ්පාදන සිදු කරන සෑම ආයතනයක්ම පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචියි.

ගෙඩි පොල් භාවිතයෙන් මිදී වඩාත් පහසු, කාර්යක්ෂම සහ අරපිරිමැස්මෙන් යුතු අගය එකතු කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොමුවීමට කාලය පැමිණ තිබෙනවා. පවුලේ පෝෂණය ගැන සිතන, අරපිරිමැස්මට කැමති ගෘහිණියන්ට මෙය කදිම අවස්ථාවක්.

අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇත්තටම සෞඛ්‍යයට හිතකරද?

පිටි කළ පොල්කිරි, පොල්කිරි සහ පොල් ක්‍රීම්​ ආදී අගය එකතු කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන කරනුයේ මෙරට ISO තත්ත්ව සහතික ලත් කර්මාන්තශාලාවල. අපනයනය ඉලක්ක කර ගනිමින් ඒවායේ නිෂ්පාදන සිදු කෙරෙන නිතර එම නිෂ්පාදන ක්‍රියාවලිය පොල් සංවර්ධන අධිකාරියේ දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. විදෙස් වෙළෙඳපොළ නිෂ්පාදන මිලදී ගැනීමේදී ප්‍රමිතිය ඉතා ඉහළින් සලකා බලන අතර මෙරට පිහිටි අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලා ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඉහළ ප්‍රමිතියක් සහිතව තම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනවා.

මෙම නිෂ්පාදනවල සිරුරට අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැහැ. ලෝකයේ දියුණු රටවල්වලින් අපේ අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන අතර මෙරට වෙළෙඳපොළට නිකුත් කරන්නේද එම නිෂ්පාදනම බැවින් ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ සැකයක් අැති කර ගත යුතු නැහැ.

 

අශෝක රාජමන්ත්‍රී මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ

(තත්ත්ව පාලන සහ තත්ත්ව ආරක්ෂණ)

පොල් සංවර්ධන අධිකාරිය

 

[email protected]