වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පොරොන්දුව

ඇය සදිකා වික්‍රමතුංග. හෙද නිලධාරිනියක් ලෙසින් රාජ්‍ය සේවයට පිවිසි සදිකා මේ වනවිට ප්‍රධාන හෙද පාලිකාව ලෙසින් මහියංගණය මූලික රෝහලේ සේවය කරන්නීය. පාසල් අවධියේ සිටම කවි, කතා නිර්මාණයට මහත් රුචියක් දැක් වූ ඇය ඉඳහිට පුංචි කවියක් දෙකක් අකුරු කළාය. මවගේ අඩි පාරේ යමින් හෙද වෘත්තියට පිවිසුණ ද සදිකා තුළ සැඟවුණු නිර්මාණශීලී ගැහැනිය කිසිවිටෙකත් නිදාශීලී නොවූවාය. එබැවින් ඇය නිරතුරුවම තරුණී - හිමිදිරියට කවි පද ගෙතුවාය. අද තරුණී ශේෂ පත්‍ර හැඩවන්නේ සදිකා ලියූ කෙටි කතාවකිනි.
‘අම්මේ....‘
හඬත් එක්ක ආපු පොඩි දූ නතර වුණේ කුස්සියේ දොර උළුවස්ස ළඟ.
‘සහන්ලා අැවිත්.‘
පොඩි දුව කිව්වෙත්, මොකක්‘ සුරේනිගේ කටින් පිටවුණෙත් එකවිටම වගේ.
සහන් කියන්නේ පොඩි දුවත් එක්ක කාර්යාලේ වැඩකරන දරුවෙක්. පසුගිය කාලෙ පොඩි දුවගෙ කතාවල සහන් ටිකක් වැඩිපුර ඉන්න බව සුරේනිට නොතේරුණාමත් නොවෙයි. ‘එයාගෙ කටින්ම ආවාවෙකො‘ සුරේනි හිතුවේ එහෙම.
‘අම්මෙ සහන්ට අපේ ගෙදර එන්නෝනෙ කිව්වා.’ එක දවසක් පොඩි දුව කිව්ව වගත්, ‘ඉතින් එන්න බැරියැ.‘ තමන් ඉණිමං බැන්ද වගත් සුරේනිට මතක් වුණා.
‘ඒත් මෙහෙම උන්හිටි ගමන් ?’
පුංචි නෝක්කාඩුවකුත් හිතට එද්දි සුරේනි පොඩි දුවත් එක්ක සාලෙට ගියා.
සාලෙ දොරකඩ හිටගෙන උන්නු සහන්ගේ රූපේ දැකපු ගමන් සුරේනිගෙ හිතේ විදුලියක් කොටපු වග කාටවත් පෙනුණේ නෑ. ඊට පිටිපස්සෙන් මතුවුණු කාන්තා රූපෙ දැක්කම, හිතේ උපන් නෝක්කාඩුව දියවෙලා ගියා. චාම් ඔසරියකින් හැඩවුණු, හීන් දිගටි සිරුරට ගැළපෙන අහිංසක ඇස් දෙකක් තිබුණු ඇය, ඇස් තවත් හීන් කරලා හිනාවුණා. සීරුවට පීරපු කොණ්ඩෙ, බෙල්ල මුලට ගෙඩියක් බැඳලා.
‘පුතාට මං කිව්වා නොකියා යන එක හරි නෑ කියලා.‘
සහන්ගේ අම්මා හෙමීට කිව්වා.
‘ඒකට මොකද එන්න එන්න.‘
සුරේනි උත්තර බැන්දා. අම්මගෙ ළඟින් සෝපාවේ ඉඳගත්තු සහන් දකිද්දි සුරේනිගේ හිත ඇතුළේ ආයෙම විදුලි කොටන්නෙ ඇයි කියලා සුරේනිටත් හිතාගන්න බෑ. ලොකු දූ විවාහවෙලා ගෙදරින් ගියපු දෑවුරුද්ද පුරාවට ගෙදර පාළුවක් නොදැනෙන්න පොඩි දූ හිඩැස් පිරෙව්වා.
‘ළමයි හැමදාම දෑත දරන් හිටියැකියෑ, කවදාහරි අත අරින්න එපැයි.‘
සුරේනි තමන්ටම කියාගත්තා.
‘තාත්තා නැතිවෙද්දි සහන් හරි පුංචියි, එකේ පන්තියේ.‘
සහන්ගේ අම්මා කියද්දි තමන් හූමිටි තිබ්බද කියලවත් සුරේනිට මතක නෑ. සුරේනිගෙ ඇස් දිව්වෙ පොඩි දුවත් එක්ක මිදුල දිහාට ඇවිදන් යන සහන්ගෙ පිටිපස්සෙ. අවුරුදු විසිපහකට එහා දවසක් ළඟ සුරේනිගෙ හිත නැවතිලා.
**********
තාත්තාට හදිස්සියේ ලැබුණු ශිෂ්‍යත්වයට එංගලන්තෙ යන ගමනට සුරේනිවයි, අම්මවයි එක්ක යන බව තාත්තා කිව්ිවේ හදිස්සියෙමයි. අ.පො.ස උසස් පෙළ ලියලා ඉවර වුණා විතරයි සුරේනිට රටින් පිටවෙන්න වුණා. වංගුවේ ගෙදර කුලියට උන්නු සමන්ලගේ අම්මා, සුරේනිලා පිටත්වෙද්දි පාර අයිනෙ කඩේ ඉස්සරහ හිටියා. අවුරුදු දෙකකට පස්සේ සුරේනිලා ආපහු එනකොට ඒ ගෙදර කුලියට හිටියෙ වෙන පවුලක්. දුරකතන පහසුකමක්වත් හරිහැටි නොතිබුණු කාලෙක සමන්ලා ගියපු දිහාවක ඡායාවක්වත් සුරේනිට හොයාගන්න බැරිවුණා. ඊට පස්සේ ලැබුණු තාත්තාගේ උසස්වීමත් එක්ක ඉංගිරියෙ ගෙවල් විකුණලම දාලා සුරේනිලා ගම්පහ පදිංචියට ආවා.
‘විභාගෙන් පස්සේ රස්සාවක් හොයාගත්තම මං එනවා ඔයාලගෙ ගෙදර, එතකල් ඉන්නවා නේද?‘
විභාගේ ඉවරවුණ දවසෙ බස් එකෙන් බැහැලා ගෙදර එනගමන් සමන් හෙමීට ඇහැව්වා.
‘සත්තයි ඉන්නවා‘
සුරේනි කිව්වේ ඇස් දෙකෙන්. සමන් හනිකට ඒ පොරොන්දුව දෝතටම ගත්තා.
රංග, සුරේනිත් එක්ක දැනහැඳුනුම්කමකට මුල පුරනකොට සුරේනි සමන් ගැන රංගට කිව්වා. එතෙක් කාලයක් සමනුයි, සුරේනියි ඇරුණාම කිසිම යාළුවෙක්වත් මේ ගැන දැනගෙන හිටියේ නෑ.
‘සමන් කවදාහරි ආවොත් මං, මෙන්න ඔයාගෙ සුරේනි කියලා දෝතින්ම බාර දෙනවා.‘
රංග කිව්වෙ හිනාවෙවී.
‘හිතේ ඇති, දීලා අත පිහදාගන්න.’
සුරේනිත් හිනාවුණා. කාලය ගලා යද්දි අතීත මතක අතරේ සමන් හෙමීට වහන්වෙලා ගියා.
‘ඉතින් ඇයි ආයෙම ඇවිත්, දැන් තියෙන්නෙ පොඩි දුවගෙ කතාවනෙ‘
සුරේනි හිතුවා. සුහද කතා අවසානෙ සහන්ලා පිටත්වෙද්දි
‘අක්කලත් වේලාවක අපේ ගෙවල් පැත්තෙ එන්න.’
සහන්ගේ අම්මා වචනයෙන් බුලත් අතක් දෙද්දි සුරේනි එක හිතින්ම බාර ගත්තෙ හිනා කටක් එක්ක.
කළගෙඩිහේනෙ පොඩි නැන්දලාගේ ගෙදර යන ගමනකදි,
‘අම්මේ සහන්ලගෙ ගෙවලුත් මේ ළඟ.‘ පොඩි දුව කිව්වා.
‘ගෙදර ඉන්නව ද දන්නෑ.‘ සුරේනිටත් කියවුණා.
නුවර පාරෙන් හැරිලා කට්ටි කරපු ඉඩම මැද්දෙන් වැටුණු කොන්ක්‍රීට් පාර දිගේ ඇවිදන් යද්දි, එහා වංගුවෙන් සහන්ගෙ රූපෙ මතුවුණා.
ආයෙමත් හිතේ ගැස්සිල්ල, සුරේනිගෙ හිත ඇතුෙළ් විදුලි කෙටුවා. වංගුවෙන් හැරෙද්දිම, සුදුපාට පිරියම් කළ හුරුබුහුටි ගෙදර. සීරුවට මල් වවලා හැඩ කරපු මිදුල මැද්දෙන් වැටුණ රට තණකොළ බිස්ස දිගේ සුරේනියි පොඩි දුවයි ගෙට ගොඩ වුණා.
‘අනේ.....එන්න එන්න.‘
සහන්ගේ අම්මගෙ හඬ.
සාලෙට ගොඩවුණ සුරේනිගෙ දෑස නතර වුණේ කැබිනෙට්ටුව උඩ තිබුණ උඩුකය ඡායාරූපය ළඟ. සුරේනි ඉඳගත්තෙ ඒක පේනමානෙ පුටුවක.
සහන්ගේ අම්මා කියපු කිසිදෙයක් කනට වැටුණ කියල සුරේනිට මතක නෑ.
‘මට ඉන්නෙ සහන් විතරයි. සහන්ට ඉන්නෙ මං විතරයි. ඒ මගෙ පණ‘
ඒ වචන ඇහුණේ සහන්ගේ අම්මගෙ හඬින් ද වෙනත් හඬකින් ද කියලා සුරේනිට නිනව්වක් නෑ. ‘ඔව් මගෙත් පණ‘
සුරේනිගේ හිත මිමිණුවා.
කතා කරන අැස්දෙක, හීන් තොල්පෙති, පළල් නළලතට වැටුණ අකීකරු කෙස් රොද එක්ක, මීට විසිපස් වසරකට උඩදී මඟඇරුණු ඒ මුහුණ සුරේනි ඉස්සරහපිට හිනාවෙවී හිටියේ තේ බන්දේසියක් අල්ලන්.
‘ඔයාගේ පණ මගෙත් ඇස්දෙක වගේ බලා ගන්නවා.‘
සුරේනි දෑසින් කිව්වෙ කැබිනෙට්ටුව උඩට වෙලා හිනාවෙවී බලන් ඉන්න සමන්ට.