අනේ කාලේ වනේ වාසේ

මාර්තු 24, 2025

 දහතුන්වැනි දින සටහන

 

2016 අප්‍රේල් 29 බ්‍රහස්පතින්දා

 

ඛේමාගේ උපන් දිනේ කියලා අද ඔෆිස් එකේ නරි නාටක විමානයයි. මඟුල් ගේකට යන්නැහැ සාරියක් ඇඳන් ඛේමා ආව උජාරුව බලන්ඩෙපෑ. ඔෆිස් එන්ඩ ඔයහැටි වටින සාරි අඳින්ඩ ඕනෑද? මොකද මේකෙ මෝස්තර නිරූපණ තරගයක් තියෙනව යෑ.

 

" හබී ගිය මාසෙ සිංගපෝ ගිහින් එද්දී ගෙනෑපුවෑයින් එකක් අනේ."

මෝස්තර බලනවා මදිවට එයාගෙ මිනිහගෙ පම්පෝරිත් අපි අහන්ඩ ඕනෑ. ඊළඟට කට්ටිය පෝලිමේ ඛේමාව ඉඹින්ඩ පටන් ගත්තා. මං හොඳට බලන් හිටියෙ ගෑනු ටික වගේ පිරිමිත් ඛේමාව ඉඹීද කියලයි. සිරිල කිව්වෙ ලොක්කයි, ඛේමයි දවල් ප්‍රොජෙක්ට් එකක් බලන්ඩ කියලා ගියෙ උපන් දින තෑග්ග දෙන්ඩ තමයිලු කියලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මේක දැන් තනිකරම මඟුල් සක්වලක්.

 

හවස තේ වෙලාවට ඛේමාගෙ පාටියට කේකුයි, කට්ලටුයි, පැණි වළලුයි, කෙහෙල් ගෙඩියි, තව අනම් මනම් ජාති ගොඩයි. ඕනෙම නම් ඔහෙ කේක් කෑල්ලක් දෙනවා මිසක් ඔයහැටි ජාති ගේන්ඩ ඕන්නෑ නෙ. සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ වෙන්ඩැති. නම්බුව බේරගන්ඩ නම් මගෙ උපන් දිනේටත් වියදමක් කරන්ඩම වෙයි. පෙබරවාරි 29 ඉපදුණා නම් හොඳයි කියල හිතෙන්නෙ මේං මේ වෙලාවට තමයි. ඇයි ඉතින් අවුරුදු හතරකට සැරයයිනෙ පාටියක් වුණත්.

 

2016 අප්‍රේල් 30 සිකුරාදා

 

අද සිරිලල, විමලෙල මදිවට ලොක්කයි දෙවැනියයි දෙන්නත් දවල් වෙලයි ඔෆිස් ආවෙ. බැලින්නම් ඊයේ රෑ ඛේමාගෙ මිනිහ කට්ටියට බෝතල් පාටියකුත් දීලලු නෙ. අපේ ලොක්කට බොන්ඩ කිව්වොත් ආයි ඉතින් මේ ලෝකේ සිහියක් තියෙනව යෑ.

 

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නැහෙ හවස් වෙද්දි තමා හොඳම හරිය එළියට පැන්නෙ. ඊයේ රෑ බෝතල් ඇරෙන වැහෙන අතරෙම ඛේමගෙ මිනිහගෙ හොර බිස්නස් එහෙකට ඕනෙ කරන ලියවිලි වගේකටත් කොළේ වහලා ලොක්කගෙන් අත්සන් ගත්තයි කියල කට්ටිය කතා වුණේ. ලොක්ක වෙරි මරගාතෙ සිරිතුංගයට කියලමයිලු ලාච්චුවෙන් සීල් එක ගෙන්නගෙන ඒවයෙ ගැහුවෙ. බලන් ගියාම ඛේමා මීය කඩලා තියෙන්නෙ අත ලෙවකන්ඩ නෙමේ.