ඇඟිලිවලින් කියවෙන දිවියේ තතු

මාර්තු 24, 2025

ඇඟිලි පරීක්ෂා කරන විට ඒවායේ දිග සහ කෙටි බව, විශාලත්වය, පුළුල් බව, කවාකාර බව, ගැට සහිත බව, මෘදු බව සහ මටසිළුටු බව, පුරුක්, සන්ධි, ඇඟිලි තුඩුවලින් කියවෙන දෑ, ඇඟිලිවල මුල, පුරුක්වල විශාලත්වය, නැමෙන නොනැමෙන ස්වභාවය, විශාලත්වය යනාදී බොහෝ කරුණු පරීක්ෂා කිරීමට සිදුවන අතර රහස් පරීක්ෂයකු පරිද්දෙන් ඔබට ඒ ඇසුරින් සොයාගත හැකි දෑ, හෙළිදරව් කරගත හැකි දෑ බොහෝ වෙයි.

 

ඇඟිලිවල සාමාන්‍ය ස්වභාවය,

 

1. කෙටි ඇඟිලි

2. දිගු ඇඟිලි

3. විශාල ඇඟිලි

4. සිහින් ඇඟිලි

5. ගැට සහිත ඇඟිලි

 

1. කෙටි ඇඟිලි

 

සැලසුම් රහිත ලෙස කටයුතු කරන ක්ෂණික තීරණ ගන්නා අයකු වේ. වේගවත් සිතුවිලි සහිත වේ. වහා අවබෝධ වන සුලු ගති ලක්ෂණ සහිතය. එහෙත් අවබෝධය සහිත වුවද ඉක්මන්කාරී බව නිසා බොහෝවිට කළ යුත්ත නොව නොකළ යුත්තම කරයි. සියුම් දේ පිළිබඳව ඔවුන්ගේ හැඟීමක් නැත. ආදරය, ප්‍රේමය කරුණාව වැනි සියුම් හැඟීම් පිළිබඳව ඔහු විශ්වාස නොකරයි. තමන් විසින් තනාගත් නීති පද්ධතියකට අනුකූලව අන්‍යයන් හසුරුවන්නට වෑයම් කරයි. එහෙයින්ම මෙවන් පුද්ගලයන් ඇතැම්හු කරදරයක් සේ සලකති. ගැට සහිත වූ කෙටි ඇඟිලි පිහිටියේ නම් ඔහුගේ වේගවත් සිතුවිලි බිඳී යන බැවින් මඳ ක්‍රියාකාරීත්වයක් දැකිය හැකිය. එහෙත් ආධිපත්‍යමය ස්වභාවයත් අන්‍යයන්ගේ හැඟීම් නොසලකා ක්‍රියා කරන ගතියත් වෙනස් නොවේ. කෙටි වූද,පැතැලි වූ ද, රළු වූ ද ඇඟිලි පවතින්නේ නම් හෙතෙම අන්‍යයන්ට යටත්ව වැඩ කටයුතු කරන්නෙක් වෙයි.

 

2. දිගු ඇඟිලි

දිගු ඇඟිලි පිහිටි පුද්ගලයන් කායික ක්‍රියාකාරීත්වයට වඩා මානසික ක්‍රියාකාරීත්වයට නැඹුරුවූවන් වෙයි. සෑම දෙයක් පිළිබඳවම හොඳින් හිතා මතා කටයුතු කරයි. අන්‍යයන්ට දයාව, කරුණාව ප්‍රමාණාත්මකව දක්වයි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි සහ මානසික චර්යාවන් පිළිබඳව සලකා බලා සුදුසු පරිදි කටයුතු කරයි. බොහෝ දේ පිළිබඳව දැනුම ඇත. අවස්ථානුකූලව නිවැරදි තීරණ ගනියි. ඇතැම්විට අලස ගති පෙන්වයි. තමන් විසින් කළ යුතු යුතුකම් කිසිදු අඩුවක් නොමැතිව ඉටු කරයි. බොහෝවිට කෘතහස්ත පරිපාලකයෙකු වෙයි. මනා ජීවිත පරිඥානයක් පිහිටන බැවින් බොහෝවිට කරන, කියන කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගනී.

 

3. විශාල ඇඟිලි

සිතුවිලි හෝ ක්‍රියා වේගවත් නොවේ. වෙනකෙකුගේ මෙහෙයවීමෙන් නම් ඉතා සාර්ථකව කටයුතු කරයි. සියුම් හැඟීම් නොමැත. යමක් කරන්නට පටන්ගතහොත් ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම එම කටයුත්ත කරයි. නිර්මාණාත්මක ලෙස සිතන්නට නොපෙළැඹෙන අතර සියුම් දේ ගැන උනන්දුවක් නොදක්වයි. අන්‍යයන්ගේ වැරදි සොයයි. නැති තැන දොස් කියයි. මුදලට මෙන්ම ආහාරයට ද ගිජු වෙයි. අලස සුවයෙන් කල්ගෙවීමට දැඩි සේ කැමැති වෙයි. එහෙත් බොහෝ දුරදිග සිතා මතා කටයුතු කරන බැවින් ද ඉතා සූක්‍ෂ්ම ලෙස යළිත් ආවර්ජනය කරමින් පරීක්ෂා කරන නිසාද ප්‍රමාණුකූල ලෙස වැඩ කටයුතු කරන මෙවන් පුද්ගලයන්ට මනා මතකයක් ඇත.

 

4. සිහින් ඇඟිලි

බුද්ධියට වඩා හදවතට වහල් වන ආකාරයේ හැසිරීමකින් යුතු මොවුහු ඒ නිසාම බොහෝ කටයුතු අවුල් කර ගනිති. ක්‍රියාශීලී ලෙස කටයුතු කරන්නා වූ ද, උත්සාහවන්ත වූ ද, සියුම් හැඟීම් සහිත වූ ද, මෙවන් පුද්ගලයෝ සමාජයේ ජනප්‍රියභාවයට පැමිණෙති. අධ්‍යාපනික දැනුම තිබුණද නොතිබුණද කිසිදු අඩුවක් නොමැතිව සිය කටයුතු ඉටුකර ගන්නටද තමන්ට පැවැරෙන කටයුතු ඉටු කරන්නට ද සමත් වෙති. බොහෝ විට අන්‍යයන් යටතේ රැකියාවල් කිරීමට යොමුවෙති. අඩු පෞරුෂයකින් යුතු බැවින් කවරකු සමග වුවද සුහදව කටයුතු කිරීමට හැකි බැවින් ද මෙවැන්නෝ වෙ‍ෙළඳ සමාගම් වැනි ස්ථානවල විවිධ රැකියාවල නිරත වෙති. මඳ උඩඟුකමක් සිත තුළ ඇති නමුත් එය හෙළිදරව් වන්නේ කලාතුරකිනි.

 

5. ගැට සහිත ඇඟිලි

සත්‍ය සෙවීමට තර්කය යොදාගන්නා විපරම්කාරී පුද්ගලයන්ට මෙම ලක්ෂණය පිහිටයි. කිසිදු විටක අන්‍යයන් කී පමණින් විශ්වාස නොකරන මොවුහු හාරා හොයා විමසා ප්‍රත්‍යක්ෂයෙන් දැන යමක් පිළිගනිති. ක්‍රමානුකූල ලෙස ද නීත්‍යානුකූල ලෙස ද කටයුතු කරති. එහෙත් ගැට සහිත ස්වභාවය අධිකව පිහිටියහොත් කල්පනා ශක්තිය අඩු පුද්ගලයකු වේ. එමෙන්ම ලෝභ ගතිගුණ සහිත වේ.

 

ඇඟිලි තුඩු

ඇඟිලි තුඩු අනුව ද ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයන් හෙළිදරව් කෙරෙන අතර, මෙම හෙළිදරව්ව පස් ආකාර වෙයි.

 

1. රවුම් ඇඟිලි තුඩු

2. හතරැස් ඇඟිලි තුඩු

3. ශෘංගාකාර ඇඟිලි තුඩු

4. කෝණාකාර ඇඟිලි තුඩු

5. මිශ්‍ර ඇඟිලි තුඩු

 

1. රවුම් ඇඟිලි තුඩු

මෙවන් ආකාරයේ ඇඟිලිතුඩු පිහිටා ඇති පුද්ගලයා අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. ලද අත්දැකීම් මත කුමන දෙයක් පිළිබඳව වුවද මනා දැනීමකින් යුක්තව කටයුතු කිරීමෙහි සමත් වෙයි. මනා ක්‍රියාශීලී බවකින් යුතුවන අතර ධෛර්යසම්පන්න වෙයි. නිර්මාණාත්මක වේ. බොහෝ තැන්හිදී අලුත් අලුත් දේ නිපදවයි. නව මාර්ග සොයා ගනී. ගවේෂණයෙහි සමත්වෙයි. තමන් භාරගත් කාර්යය මනාව ඉටුකරන අතර ක්‍රමානුකූල ලෙසත්, අලංකාරවත් ලෙසත්, කටයුතු කිරීමේ හපනෙකු වේ. තර්කානුකූල ලෙස සිතයි. අනෙකකු කී පමණින් පිළි නොගනියි. පර්යේෂණ කරයි. ප්‍රත්‍යක්‍ෂ තුළින් තත්ත්වාකාර අවබෝධයක් ලබා ගනියි. උද්යෝගිමත් වේ. සිතුවිලි බහුල වේ. ඥානවන්ත වේ.

 

2. හතරැස් තුඩු සහිත ඇඟිලි

මෙවන් ඇඟිලි තුඩු ඇත්තන් වැඩ කරන්නේ ඉතා ක්‍රමානුකූල අන්දමිනි. එහෙන් මෙහෙන් කරන වැඩවලට කැමැති නොවේ. මනා පෞරුෂත්වයකින් යුතුවේ. තමන් කළ යුතු වැඩ කොටස මනා ලෙස, කාර්යක්ෂම ලෙස ඉටු කරයි. යුක්තිගරුක වේ. සංවර වෙයි. අධිෂ්ඨානශීලී වේ. හදවතට එකඟව වැඩකටයුතුවල යෙදෙන්නෙකි. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටුකරයි. අසාධාරණයට එරෙහි වෙයි. අවශ්‍ය තැන්හිදී නැඟී සිටි නමුදු ගතිගුණ ඇතත් යුක්තිය වෙනුවෙන් කුමනාකාර තත්ත්වයකට වුවද මුහුණදීමට නොපසුබට වෙයි. ආත්ම ගෞරවය වෙනුවෙන් සටනකට වුවද සූදානම්ය.

 

3. ශෘංගාකාර ඇඟිලි තුඩු

ක්‍රමානුකූල ලෙස සිහින් වී ගොස් අවසානයේ බෙහෙවින් අලංකාරවත් ලෙස කවාකාර වී නිමාවන මෙම ඇඟිලි තුඩු පිහිටන්නේ කලාත්මක හැඟීම් සහිත උණුසුම් මෘදු හදවත් ඇති පුද්ගලයන්ටය. ප්‍රීතිසහගතව නිතර පසුවන අලංකාරයට රසවත් බවට, මිහිරට ප්‍රිය කරන මොවුන් බෙහෙවින් අවංක වෙයි. කිසිදු අවිශ්වාසයක් නොමැතිව අන්‍යයන් ඇසුරු කරන මොවුහු බොහෝ විට රැවටෙති. තර්කයට වඩා හදවතට, හැඟීමට මුල් තැන දෙන මොවුහු අන්‍යයන්ගේ ප්‍රශංසාවට මුසාවට මුලා වෙති. ස්ථිර ලෙස ප්‍රතිපත්ති මත පිහිටීමේ අසමත් වෙති. මිහිරි සිහින මවති. එහෙත් සිහින සැබෑ කරගන්නට ප්‍රයත්න නොදරති. රසබර අත්දැකීම් ලබන්නට දැඩි උනන්දුවක් දක්වති. අධිෂ්ඨානය දුර්වල වේ.

 

4. උල් ඇඟිලි තුඩු (කෝණාකාර ඇඟිලි තුඩු)

උසස් කල්පනා ශක්තියකින් යුතුවේ. ක්‍රියාකාරී බවින් අඩු වුවද තමන් භාරගත් කටයුතු දක්ෂතාව නිසාම මනාකොට නිම කිරීමට සමත්වේ. දක්ෂ වෙයි. බුද්ධියට වඩා සිතට වහල් වීමේ ස්වභාවය බෙහෙවින් වැඩිය. එබැවින් බොහෝ කරදරවලට මුහුණ දීමට සිදුවේ. ඉතා මෘදු හැඟීම් ඇති බැවින් ප්‍රශ්නවලදී අන්දමන්ද වෙති. අන්‍යයන්ගෙන් උපකාර නොලදහොත් බෙහෙවින් දුකට පත් වෙති. මෙවැනි මොහොතක සිය පණ හානි කර ගැනීමට පවා සිතන්නට තරම් ඔවුන් ආත්ම ශක්තියෙන් හීන වේ. මොවුහු අලංකාරයට දැඩි සේ ඇලුම් කරති. ප්‍රේමය, ශෘංගාරය වැනි හැඟීම්වලට වහල් වී වැඩ කටයුතු කරන්නට ගොස් අපහසුවට පත්වන අය මේ අතර වේ. කලාකාමී හදවතක් තිබුණද එම හැඟීම් ගැඹුරු නොවේ. සරල වින්දනයකට ඔවුහු දැඩිසේ ඇලුම් කරති. ජීවිතයේ සැබෑ ගැඹුර නොදකින මොවුහු බොහෝවිට දුකින් පිරි ජීවිතවලට ඇද වැටෙති.

 

5. මිශ්‍ර ඇඟිලි තුඩු

කිසිදු අතක එක හා සමාන ඇඟිලි තුඩු පිහිටන්නේ නැත. බැලූබැල්මට එක හා සමාන ලෙස පෙනුණ ද ඇඟිලි තුඩු එකිනෙක අතර සැබෑ වෙනස්කම් දැකිය හැක්කේ දැඩි නිරීක්ෂණශීලී දෑසකින් යුතුව පරීක්ෂා කළොත් පමණි. එහෙත් බැලූබැල්මට විවිධාකාර තුඩු සහිත ඇඟිලි පිහිටි පුද්ගලයන් ද දක්නට ලැබේ. මිශ්‍ර ඇඟිලි තුඩු සහිත පුද්ගලයන් ලෙස සැලකෙන්නේ එවන් පුද්ගලයන් බැව් සාමුද්‍රික ශාස්ත්‍රයේ නියමයයි. එවැනි ඇඟිලි තුඩු පිහිටි පුද්ගලයන් විවිධ ගතිගුණ දරති. බොහෝ කටයුතුවලදී දක්ෂතා දක්වන්නෙ, ඉතා සටකපට මායම් ද සහිත එවන් පුද්ගලයෝ වෙ‍ෙළඳ සමාගම්වල ඉහළ තනතුරු දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු ද දරති.