වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නිවාඩුවට බලන්න යමු උඩවලවේ අලි හසරැල්

ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට කිරි ලබාදීම නැරඹිය හැක්කේ උදෑසන 10.30 , දහවල් 2.30 සහ සවස 6.00ට පමණය.
හරිත තුරු වදුල අතර අතුරු සිදුරු නොමැතිව එහෙ මෙහේ දඟලමින් රඟපාන පුංචි බබාලාගෙන් ඇස ඉවතට ගැනීමට නොකියන්න. එය ඕනෑම විටකදී ඕනෑම අයකුට අපහසු කාරණාවක් වන බැවිනි. දඟකම් හැඩකම් මෙන්ම සුලලිත ළෙන්ගතු මවමින් අලි හසරැලි පානා මේ බිම සැවොම හඳුන්වන්නේ ඇත් අතුරු සෙවණ නමිනි.
මේ පාසල් නිවාඩු කාලයේ දරුවන් සමඟ යාමට සුදුසුම සංචාරක නවාතැන්පොළක් ලෙස ඇත් අතුරු සෙවණ හැඳින්විය හැකිය. කුඩා අලි පැටවුන් හැටනව දෙනකු විශ්වසනීය ආරක්ෂාව සලසනු ලබන ඇත් අතුරු සෙවණ උඩවලව සංචාරයේදී බොහෝ දෙනකුට අතපසු වන සංචාරක ස්ථානයක් මෙන්ම දැකබලා බොහෝ දේ දරුවනට ඉගැන්විය හැකි ස්ථානයක් ලෙස නම් කළ හැකිය.
ගමන් මඟ
පැල්මඬුල්ල - ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව හන්දියට ඔබ පළමුව පැමිණිය යුතුය. ඔබ ඇඹිලිපිටිය සිට පැමිණෙන්නේ නම් උඩවලව හන්දියෙන් දකුණු දෙසට හැරෙන මාර්ගය වන තණමල්විල පාරෙන් ඇත් අතුරු සෙවණට පැමිණිය හැකිය. ඒ ප්‍රදේශයේදී ඔබට හමුවන ඕනෑම අයකුගෙන් ඒ මඟ ඇසූ විට ඔබට නිවැරදි මඟ පිළිබඳ දැන ගත හැකිමය. නමුත් ඇත් අතුරු සෙවණ නැරඹීමට සෑම විටකම සංචාරකයන් හෝ ආගන්තුකයන්ට අවස්ථාව නොලැබෙන්නේ මෙම අලි පැටවුන් සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුනට නිදහසේ ගත කිරීමට කාලය අවශ්‍ය බැවින්ය.වනාන්තරයේ අතරමං වූ අලි පැටවුන් සුරක්ෂිතව රැක බලා ගන්නා ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට කිරි ලබාදීම නැරඹිය හැක්කේ උදෑසන 10.30, දහවල් 2.30 සහ සවස 6.00ට පමණය.
මේ කුඩා අලි සුරතලුන්ගේ හසරැලි විඳගන්නා අතරතුර මේ පැටවුන් හට සවියක් වීමටද ඔබට හැකියාව ඇත.
මේ වේලාවන්හිදී අලි පැටවුන්ට කිරි ලබාදීම නැරඹීම කුඩා දරුවන්ට ඉතා විනෝදයක් ගෙනෙන බවද නොකියාම බැරිය. මේ සඳහා දේශීය වැඩිහිටියකු රුපියල් 118ක් ගෙවිය යුතු අතර, දේශීය දරුවන් වෙනුවෙන් රුපියල් 59කි.
මෙසේ ටිකට් පතක් ලබාගැනීමෙන් ලැබෙන මුදලද යොදවනු ලබන්නේ මේ කුඩා අලින්ගේ සුබසාධනය වෙනුවෙනි. එසේම මේ බිමට පැමිණෙන ඔබට මේ අලි සිඟිත්තන්ගේ කෑම වේලක් වෙනුවෙන් දායක විය හැකිය. එය ඔබේ දරුවන්ට ද ආදර්ශයක් සපයනු ඇත.
ඉතින් මේ පාසල් නිවාඩු කාලේ අලි හසරැලි බලන්න උඩවලවේ යන්නත් අමතක නොකරන්න.