මූත්‍රාකාරකයක් ලෙස ගු ණ - අගු ණ දෙන නීරමුල්ලිය

අප්‍රේල් 21, 2025

 

කැඳ වගේම මැල්ලුමක් විදිහටත්, සලාදයක් විදිහටත් ආහාරයට ගතහැකි ආහාරමය ඖෂධයකි. නීරමුල්ලිය. 'කටු ඉකිරිය'නමිනුත් බොහෝදෙනා මේ ඖෂධය හඳුන්වනු ලබනවා. ඒ විතරක්ම නොවෙයි, නීරමුල්ලිය ඖෂධයට ඉහළ වටිනාකමක් ගැබ් වෙලා ඇති කියලා හැඟෙන්නේ ඖෂධයට හිමිවෙලා තියෙන වෛවර්ණ සංස්කෘතික නම්වලින්. 'කෝකිලාක්ෂ,'කාකේක්ෂු','ඡත්‍ර','ඉක්ෂුර','ක්ෂුරිකා','කාණ්ඩේක්ෂු','ඉක්ෂුලන්ධා' ,'ඉක්ෂුබාලිකා' මෙන් ම 'වජ්‍ර කණ්ටක'වැනි බොහෝමයක් නීරමුල්ලියට හිමි නම් පැරණි පොතපතෙහි සඳහන්.

 

ජලාශ්‍රිත කුලයට අයිති නීරමුල්ලිය පැළෑටිය, වැව්, කුඹුරු, වගුරු බිම් ආසන්නයේ දැකගන්න පුළුවන්. තෙතමනය නැතුව බැරි නීරමුල්ලිය ශ්‍රීෂ්ම ඍතුවේ මැරී වියළී යන පැළෑටියක්. උස අඩි 2-3 ක් තරම් උසට වැවෙන මේ ඖෂධ පැළෑටියේ සිහින් දිග කොළ පවතිනවා. මේරූ පැළෑටියේ පත්‍ර ඇති තැන්හි තියුණු කටු ඇති නිසාම කටු ඉකිරිය යන බව කාටත් තේරුම් යන දෙයක්. නිල් පාටට හුරු මලින් සහ සුදු පාටට හුරු මලින් ප්‍රභේද දෙකක් පවතිනවා. වඩා දැකීමට හැකියාවක් ඇත්තේ නිල් මල් ප්‍රභේදයයි.

 

හිසේ සිට දෙපතුල තෙක්ම රෝග නිවාරණයට නීරමුල්ලිය අගනා ඖෂධයක්. ආයුර්වේදයට අනුව කටු ඉකිරිය ශීත වගේම වීර්ය ගුණදෙන බෙහෙතක්. වාත , රක්ත රෝග, සෙංගමාලය, මූත්‍රා ගල්, මූත්‍රා අඩස්සිය, මූත්‍රා දැවිල්ල මෙන්ම සර්ප විෂට වෛද්‍යවරයෙක් හමුවන තෙක් මේ පැළෑටිය ප්‍රථමාධාරකයක් විදිහට භාවිත කිරීමට පුළුවන්. මවුකිරි වැඩීමටත් නීරමුල්ලිය භාවිත වෙනවා. ගුණයෙන් වැඩි නිසාම රක්තහීනතාවටත්, ශුක්‍රධාතු පිළිබඳ දුර්වලතාවන්හිදීත් භාවිත වෙනවා. ගුණ වගේම අගුණ දේත් ඕනෑමතැනක පවතිනවා සේම නීරමුල්ලියත් ඒ වගෙයි. විශේෂයෙන්ම සෙම් රෝගීන්ට අගුණ නීරමුල්ලිය කෑමට කැප දහවල් කාලයේදීයි. ඒ සිසිල් ඖෂධයක් නිසා සෙම් කෝප වීම හේතුවෙන්. අනවශ්‍ය ලෙස නීරමුල්ලිය ඖෂධය පාවිච්චියෙන් වකුගඩු හානි සිදුවෙන්නත් පුළුවන්. මේ ඖෂධයෙන් වකුගඩු රෝග සුවවෙනවා වගේම මෙය අනවශ්‍ය විදිහට පාවිච්චිය වකුගඩුවලට හානිකරනවා. ඊට හේතුව මේ ඖෂධය මඟින් මූත්‍රා පෙරීම වැඩි වෙන නිසා. සතියකට දෙවරක් පමණ දහවල් කෑම වේලට එක්කරගැනීම කැප බව ආයුර්වේදයේ සඳහන්.

 

නමුත්, පොඩි හෝ මූත්‍රා ආබාධයක් ඇති වූ විගසින් නීරමුල්ලිය දඬු සහ කොළ ටිකක් හොඳින් තම්බා බීමෙන් මූත්‍රා ආබාධ සුව කරගන්න පුළුවන්. මේ ඖෂධයේ කොළ, මල්, පොතු, දඬු සහ කඳ යන පස්පංගුවම ආයුර්වේදයේ රෝග නිවාරණයට භාවිත වෙනවා. ඒ ගුළි, කල්ක, කසාය, චූර්ණ, පෙති සහ කරල්වලට ඔබ්බවමින්. නීරමුල්ලිය පැළෑටිය නිසි විදියට භාවිත කළොත් දිව්‍ය ඖෂධයක්. අනිසිව භාවිත කළොත් හානියක්. දිය හැකි උපදෙස නම්, නීරමුල්ලිය ඖෂධය මූත්‍රාකාරක ගුණයෙන් අනූන නිසා දිනපතා භාවිතය නුසුදුසු බව වගේම ෙවෙද්‍ය මාත්‍රාවට විරුද්ධව භාවිත නොකළ යුතු බවයි.